දීඝ දන්තු සොයා මෙහෙයුමක්

by Staff writer 28-06-2018 | 9:22 PM

දින කිහිපයක සිට සොයා ගත නොහැකි වී ඇති කලාවැව අභය භූමියේ සිටින දළ ඇතුන්ගෙන් දළ දිග ම ඇතා ලෙස සැලකෙන දීඝ දන්තු සොයා අද මෙහෙයුමක් ආරම්භ විය.

අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල ලෙස මේ හස්ථියාගේ වම් පාදයට වෙඩි වැදී ඇති බව ප්‍රදේයේ ධීවරයින් වනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබුණේ ඉකුත් 12 වැනිදා යි. ඒ අනුව හස්තියා සොයා ගිය වනජීවි පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රතිකාර කිරීම් ආරම්භ කළේ ය. ඉන් පසු දින 3 ක් වරින් වර හස්තියාට ප්‍රතිකාර කිරීම් සිදුකළ අතර අවසන් වරට ප්‍රතිකාර කළේ 18 වැනිදා යි. ඉන් පසු හස්තියා අතුරුදන්ව තිබේ. ඇතා සිටින බවට සැකකෙරෙන ඉසව් ලෙස වනජීවි නිලධාරීන් හඳුනාගෙන තිබුණේ , කහල්ල පල්ලේකැලේ රක්ෂිතය , ගල්ගමුව රක්ෂිතය සහ රැස්වෙහෙර වනජීවි ප්‍රදේශයයි. දීග දන්තු ඇතා සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර අදත් වනජිවි නිලධාරීන් , පශු වෛද්‍ය නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගෙන් යුතු කණ්ඩායම් 9 ක් කහල්ල පල්ලේ කැලේ රක්ෂිතයේ දීගදන්තු සොයා පැය ගණනාවක මෙහෙයුමක් දියත් කළේ ය. ඇතාගේ බවට සැක කෙරෙන අඩි සලකුණු හමුවූ නමුත් ඒවා දින ගණනක් පරණ වූ ඒවා බව වනජීවී නිලධාරීන් පවසයි. අප වාර්තාකරු පැවසුවේ පැය 10 ක පමණ මෙහෙයුමකින් පසුව ද ඇතා සිටින ස්ථානය පිළිබඳ හෝඩුවාවක් සොයාගත නොහැකි වූ බවයි. කලාවැව වනෝද්‍යානය තුළ ජීවත්වන අලින් ගණන 350 ක් පමණ ජීවත් වෙති. ඉන් කලා වැව නිම්නය ආශ්‍රිතව සිය වාස භූමිය කරගෙන සිටින “දීග දන්තු 01“ ඇතා දැනට එහි සිටින දළ දිග ම හස්තියා වන අතර එම ඇතාට බොහෝ සෙයින් සමාන වන්නේ “දීග දන්තු 02“ නමැති ඇතායි. දීග දන්තු 02 ඇතාද පසුගිය වසරේ ජුලි මාසයේදී , බදින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලැබ සිටියේ ය. දැනට ශ්‍රී ලංකාව පුරා ඉතිරිව සිටින්නේ 6000 ක පමණ හස්ති ගහණයක් පමණයි. එහෙත් විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා මෑත කාලයේදී , ගල්ගමුව දළ පූට්ටුවා, තබ්බෝවේ ඇතා, රිටිගල ඇතා සහ තනි දළයා මියගිය අතර කතිර දළ ඇතා සහ මහසෙන් දළ ඇතා මේ වනවිට අතුරැදන්ව ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. https://www.youtube.com/watch?v=x9sLeHXicFs