ඇවන්ගාඩ් සිද්ධිය: කර්නල් සහ මේජර් යළි රිමාන්ඩ්

ඇවන්ගාඩ් අවි ගබඩාවේ භාරකරු සහ මෙහෙයුම් කළමනාකරු යළි රිමාන්ඩ්

by Staff writer 28-06-2018 | 1:17 PM

COLOMBO (News 1st) - ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ගාඩ් නෞකාවේ නීති විරෝධී ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම අවි ගබඩාවේ භාරකරු සහ මෙහෙයුම් කළමනාකරු ලබන මස 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පිරිස් මහතා අද නියෝග කර තිබේ.

අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එම අවි ගබඩාවේ භාරකරු ලෙස කටයුතු කළ, කර්නල් දොන් තොමස් ඇල්බට් විජේතුංග තිලකරත්න සහ මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කළ මේජර් මිල්ලනියගේ සුමුදු නිලුපුල් කොස්තා යන අයයි. මෙහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවන්ට මෙම අධිකරණයෙන් ඇප ලබාදිය නොහැකි අතර මහාධිකරණයෙන් ඇප ලබාගත යුතු බවයි. නීති විරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2015 ඔක්තෝබර් 13 වන දින ඇවන්ගාඩ් නෞකාව අත්අංඩගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලදි. ඒ අනුව කරන ලද පරීක්ෂණවලදී නෞකාවේ තිබි ටී 56 ගිනි අවි 549 ක්, 84 එස් වර්ගයේ ගිනි අවි 264 ක්, උණ්ඩ දෙලක්ෂ හාරදහස් හයසිය හැත්තා හතරක්, එල්.එන්.ජී වර්ගයේ ගිනි අවි දෙකක් සොය ගෙන ඇත.