අඩු මිලට විකුණා මණ්ඩලය පාඩුකරන විදුලිය මාෆියාව...

වැඩි මිලට ගෙන අඩු මිලට විකුණා මණ්ඩලය පාඩුකරන විදුලිය මාෆියාව

by Staff writer 27-06-2018 | 9:52 PM

COLOMBO (News 1st) - වක්‍රබදු බර අඩු කිරීමට නම් රාජ්‍ය ව්‍යාපාර අඩුම තරමේ පාඩු නොලබන තත්ත්වයකට පත්කළ යුතු බව ආර්ථික විශේෂඥ මතය වුවත් විදුලි මණ්ඩලය සිදුකරන බැඳුම්කර වංචාව වැනි වංචා නිසා මේ බර තව තව ත් ජනතාවට දැරීමට සිදුව තිබේ.

මේ වනවිට ලංකා විදුලි බල මණ්ඩලය ඇඹිලිපිටියේ පුද්ගලික බලාගාරයෙන් විදුලිය ඒකකය මිලදී ගන්නේ, රුපියල් 28 ක් වැනි මුදලකට ය. මණ්ඩලය පාරිභෝගිකයාට විදුලිය ඒකකයක් අළෙවි කරන සාමාන්‍ය මිල රුපියල් 16 ක් පමණ වේ. මේ අනුව පාඩුව විදුලි බල මණ්ඩලයට දැරීමට සිදුවූවත් අවසානයේ එහි බර පැටවෙන්නේ ද රටේ ජනතාව මතයි. රටේ ජනතාව මත බර පැටවෙන අඩු වියදම් විදුලි ජනන ක්‍රම වෙනුවට අඩු වියදමකින් විදුලිය ඒකකයක් නිපදවිය හැකි අයුරින් සකස් කළ දිගුකාලීන ජනන සැලැස්ම අනුව 2014 වසරෙන් පසුව මෙරට කිසිදු බලාගාරයක් ඉදිකර නොමැත. ඒ වෙනුවට විදුලි බල මණ්ඩලය ඉහළ යමින් ඇති ඉල්ලුම සපුරාලීම සඳහා අනුගමනය කරන එකම ක්‍රියාමාර්ගය වන්නේ පෞද්ගලික අංශයෙන් ඉතා අධික මිලකට විදුලිය මිලදී ගැනීමයි. එය ද සිදු කරනේ රටේ අනුමත නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමිනි. විදුලිබල පනතට අනුව විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් සඳහා ටෙන්ඩර් කැඳවිය යුතුය. ටෙන්ඩර් කැඳවීමකින් තොරව හදිසි මිලදී ගැනීමකට ගිවිසුම්ගත විය හැක්කේ ජාතික ව්‍යසනයකදී හෝ පවතින මහා පරිමාණ බලාගාරයක් දීර්ඝ කාලීනව ක්‍රියාවිරහිත වූ අවස්ථාවලදී පමණයි. ඒ සඳහා ද කැබිනට් අනුමැතියක් අවශ්‍ය වේ. එහෙත් ඇඹිලිපිටය පුද්ගලික බලාගාරයෙන් මේ වනවිට විදුලිය මිලදී ගන්නේ මේ නීති සියල්ල කඩ කරමිනි. මෙගාවොට් 100ක ධාරිතාවයක් යුතු මෙම බලාගාරයෙන් විදුලිය ලබාගැනීමට අත්සන් කර තිබූ දිගුකාලීන ගිවිසුම 2015දී අවසන් විය. බලාගාරයෙන් විදුලි ඒකකයක් මිලදී ගෙන තිබුනේ රුපියල් 28 ක් වැනි ඉහළ මිලකටය. ගිවිසුම් කාලය අවසන් වුවත් නැවතත් හදිසි අවශ්‍යතාවක් ලෙස පෙන්වමින් 2018 අප්‍රේල් 05 වන දා සිට තව ත් වසර 03 කාලයක් සඳහා එම බාලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට තීරණය කර තිබේ. ව්‍යසනය තත්ත්වයක් හෝ මහා පරිමාණ බලාගාරයක් අක්‍රියවී නොපවතින අවස්ථාවක මේ පියවර ගෙන ඇත්තේ අමාත්‍ය මණ්ඩලයට විවිධ පත්‍රිකා ඉදිරිපත් කරමිනි. මෙම තීරණය ගනු ලබන්නේ එය විදුලිබල පනත උල්ලංඝණය කිරීමක් බව මහජන උපයෝගිතා කොමිෂන් අවධාරණය කළ පසුබිමක් තුළයි. මෙවැනි අක්‍රමිකතාවලට වැට බැදීමට මහජන උපයෝගිතා කොමිසම පියවර ගනිද්දී එහි නිලධාරීන් ඉවත් කරන්නැයි විදුලිය ඉංජිනේරු සංගමය බලපෑම් කරමින් සිටි. ඇඹිලිපිටිය බලාගාරය සමග ඇතිකරගත් ගිවිසුමේ සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් තබා ඇති සහකාර සාමාන්‍යාධිකාරී පී.එල්.ජී. කාරියවසම් මහතා ඉංජිනේරු සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකි. විදුලි ජනන බලපත්‍රයක් පවා නොමැති මෙම බලාගාරයට ඉදිරි අවුරුදු තුනේදී රුපියල් මිලියන 36,000 ක පමණ මුදලක් ගෙවීමට සිදුවන්නේ මේ අත්තනෝමතික තීරණ හේතුවෙන් ය. විදුලි බල මණ්ලය නියාමනය කරන මහජන උපයෝගිතා කොමිසමට සාමාජිකයින් පත්කරන්නේ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිවයි. නිල කාලය අවසන්වීමට පෙර ඔවුන් ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයකිනි. එවැනි නියාමන බලයක් ඇති ආයතනයක සාමාජිකයින් ඉවත් කිරීමට විදුලි ඉංජිනේරුවන් තර්ජනය කරන්නේ දූෂණ වංචාවලට වැට බඳින නිසා ද? අත්තනෝමතික යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකා ඇමති මණ්ඩලයට ඉදිපත් කිරීමට විෂයය භාර ඇමතිවරයාවන රංජිත් සියඹලාපිටිය මහතා මෙතරම් උනන්දු වන්නේ ඇයි? දෙපැත්තක පාද තබාගෙන පැස්බරා මෙන් හිස සගවාගෙන සිටිය ද මේ අයගේ කියුම් කෙරුම් රටේ ජනතාවට හොඳින් දකියි. බැඳුම්කර වංචාවට නොදෙවෙනි මෙවැනි වංචා නිසා අවසානයේ පීඩා විදින්නේ රටේ ජනතාවම නොවේ ද?