රෝහලෙන් යළි පිටියට පැමිණි කුසල් ලංකාවට ජය ගෙනෙයි

රෝහලෙන් යළි පිටියට පැමිණි කුසල් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

by Chathuranga Rajapaksha 27-06-2018 | 3:27 AM

COLOMBO (News 1st) - පන්දු රකින අතරතුර සිදු වූ අනතුරෙන් පසු රෝහල්ගත වූ කුසල් ජනිත් පෙරේරා ඉක්මන් සුවය ලබා යළිත් පිටියට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට අයුරින් ජයග්‍රහණයේ මාවත කරා රැගෙන ගියේය.

ඒ, අනුව ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති 3වන සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට සමත් විය. තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 1ක් ලෙස අවසන් විය. බ්‍රිජ්ටවුන්හිදී දිවා/රාත්‍රී ලෙස පැවති තරගය අද පැවැත්වුණේ 4වන දිනටයි. ලකුණු 144ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය ආරම්භ කරන විට කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු ගණන 81කි. දිනයේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 25කට දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් දිල්රුවන් සමග එක්ව ශ්‍රී ලංකාව ජයග්‍රාහණය කරා රැගෙන ගියේය. ඔවුන් දෙදෙනා අතරේ 7වන කඩුල්ලේ සබඳතාවය ලකුණු 63කි. කුසල් ජනිත් නොදැවි ලකුණු 28ක් සහ දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 23ක් ලබා ගත්තේය. වේග පන්දු යවන්නන්ට වඩාත් උචිතව පැවති මෙම තණතිල්ල තුළ සටන්කාමී පිතිහරඹ රටාවක ඔවුන් දෙදෙනා නිරත විය. කාසියේ වාසිය හිමි කරගත් කොදෙව්වන් තරගයේ පළමු ඉනිමට ලකුණු 204ක් ලබාගත් අතර ඊට පිළිතුරු ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමට ලබාගත හැකි වූයේ ලකුණු 154ක් පමණි. යළිත් දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 93ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 144ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල්, ලහිරු කුමාර සහ කසුන් රාජිත පන්දුවෙන් විශිෂ්ට ලෙස දස්කම් දැක්වීමට මෙම තරගයේදී සමත්විය. දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් පැනවීම හේතුවෙන් මෙම තරගය මෙහෙයවනු ලැබුවේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් විසිනි. තරගයේ වීරයා සම්මානය කොදෙව්හී ජේසන් හෝල්ඩර්ට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය කොදෙව්හී ශේන් ඩ්වරිච්ට හිමිවිය.