ජෝන් ද සිල්වා රඟහලේ ඉදිකිරීම් ඇණහිටියි

ප්‍රතිපාදන නොලැබීමෙන් වසර 4ක් තිස්සේ පමා වන ජොන් ද සිල්වා සමරු රඟහලේ ඉදිකිරීම්

by Staff writer 27-06-2018 | 12:00 PM
COLOMBO (News 1st) - ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් ජෝන් ද සිල්වා සමරු රඟහලේ ඉදිකිරීම් ඇණහිටීම පිළිබඳව කලාකරුවෝ දැඩි විරෝධය පළ කරති. ඔවුන් සඳහන් කළේ, මේ හේතුවෙන් නාට්‍යකරුවන් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව ය. 2012 වසරේදී ජෝන් ද සිල්වා සමරු රඟහල නවීකරණය කිරීමට රජය තීරණය කළේ, අයවැය යෝජනාවකට අනුව ය. ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ 2014 වසරේ නොවැම්බර් මාසයේදී එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ විය. එහි පළමු අදියරේ ඉදිකිරීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 462කි. දෙවැනි අදියර සඳහා රුපියල් මිලියන 1275ක් වෙන් කිරීමට නියමිතව තිබුණ ද එය මෙතෙක් වෙන් කර නොමැත. මේ හේතුවෙන් ඉදිකිරීම් ආරම්භ කර වසර 4ක් ගතව ඇතත් ජෝන් ද සිල්වා සමරු රඟහල විවෘත කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් නාට්‍යකරුවන් පසුවන්නේ දැඩි කනස්සල්ලෙනි. 1974 වසරේදී ඉදිකෙරුණු මෙම රඟහල එවකට රජය විසින් ජෝන් ද සිල්වා සමරු රඟහල ලෙස නම් කළේ, ප්‍රවීණ නාට්‍යවේදී ජෝන් ද සිල්වා මහතාට කරනු ලබන ගෞරවයක් ලෙස යි. එතැන් පටන් මෙම රඟහල ආධුනිකයින් රැසකට වේදිකාවේ දොරටු විවර කළ රඟහලක් විය. නාට්‍යකරුවන්ට සිය නාට්‍ය රඟ දැක්වීම වෙනුවෙන් අඩු මුදලකට ලබාගත හැකි එකම රඟහල වූයේ ද ජෝන් ද සිල්වා සමරු රඟහල යි. එහි ඉදිකිරීම තවදුරටත් ප්‍රමාද වීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඇය සඳහන් කළේ, රඟහලේ දෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා විෂය භාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කර ඇති බව ය.