අධිවේගයට වාහන ඇතුළු කිරීමට පෙර විශේෂ පරීක්ෂාවක්

අධිවේගයට වාහන ඇතුළු කිරීමට පෙර විශේෂ පරීක්ෂාවක්

by Staff writer 27-06-2018 | 7:29 AM
COLOMBO (News 1st) - අධිවේගී මාර්ගවල වාහන ඇතුළු කිරීමට පෙර ඒවා දැඩි පරීක්ෂාවට ලක් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අධිවේගී මාර්ගයේ සිදුවන රිය අනතුරු හා වාහන කාර්මික දෝෂවලට ලක්වීම ඉහළ යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ය. මේ සඳහා අධිවේගී මාර්ග පිවිසුම් දොරටු ආශ්‍රිතව අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ය. වාහනවල තිරිංග සහ සුක්කානම හොඳින් ක්‍රියාත්මක ද යන්න පිළිබඳව මෙන් ම ආසන පටි, පැති කණ්ණාඩි හා වේග මීටර ක්‍රියාත්මක ද යන්න පරීක්ෂා කිරීම මේ යටතේ අනිවාර්ය කර ඇති බව ඔහු පැවසුවේ ය. වාහනවල ටයර් නිසි ප්‍රමිතියෙන් නොමැති වීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ අනතුරු බහුලව සිදු වන බව ද පොලිස් අධිකාරීවරයා පැවසුවේ ය. ඒ අනුව අධිවේගී මාර්ගවලට ඇතුළු කරන වාහනවල ටයර්වල තත්ත්වය සම්බන්ධයෙන් ද මූලික පරීක්ෂාවක් පිවිසුම් දොරටුවලදී සිදු කෙරෙනු ඇති. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල දෝෂයක් ඇති වුවහොත් 1969 කෙටි දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ ය.