ගං දිය රැගෙන ගිය චානකගේ කඳුළු කතාව

නිසළ සිරුරවත් ඉතිරි නොකර ගං දිය රැගෙන ගිය චානකගේ කඳුළු කතාව

by Staff writer 26-06-2018 | 10:35 PM

COLOMBO (News 1st) - 2014 වසරේ අගෝස්තු මස 02 වනදා මහනුවර, පෝපිටිය ගම මැදින් ගලා යන ගෙදර ඔය රුදුරු වෙසින් ප්‍රචණ්ඩව ගලා යන්නට විය.

මේ ගං දිය ඉල්ලන්නේ සිය දරුවාගේ ජීවිතය බව නොදත් විජයරත්න එක වසරේ ඉගෙනුම ලැබූ සිය සය හැවිරිදි දරුවා, චානක සදරුවන් රැගෙන පාසලේ සිට නිවස බලා එන අතර මඟදී අබලන්වූ පාලමට උඩින් වතුර ගලා යනු දුටුවද එය ගැන එතරම්ම නොසිතා එහා ඉවුරට යාමට සූදානම් විය. සිය පුතුව කරට ගත් විජයරත්න අඩි කිහිපයක් උසට ප්‍රචණ්ඩව ගලා යන දිය පහරට පිවිසියේ කෙසේ හෝ එහා ඉවුරට යා යුතු නිසාය. නමුත් එය එසේ නොවීය. එක්වරම දරුවා ද සමඟ රුඳුරු ගං දියට වැටුණු විජයරත්නට සිය පුතනුවන්ගේ කටහඩින් අවසානයට අසන්නට ලැබුණේ " අනේ තාත්තේ... මාව බේරගන්න..." කියා පමණි. ඉන් පසු කිසිදිනක නැවතත් සිය දරුවාගේ කටහඬ නොඇසූ විජයරත්නට පුතුගේ නිසල සිරුරවත් යලි දකින්නට ලැබුණේ නැත. ගං දිය එතරම්ම සැඩපරුෂව, සිත්පිත් රහිතව චානකගේ නිසල දේහය ගං දියේ සඟවා ගත්තේය. චානකගේ අතුරුදහන්වීම ඔහුගේ පවුලට රැගෙන ආවේ ඉතා අවාසනාවන්ත ප්‍රතිඵලයක් ය. සිය පුතුගේ අකල් වියෝවේ වගකීම තමන් සතු යැයි සිතූ විජයරත්න මානසික රෝගියෙකු වූ අතර දරු දෙදෙනාගේ මව විජයරත්නව සහ දියණියව අතහැර වෙනත් මඟක ගියාය. මින් වසර දෙකකට පමණ ඉහතදී විජයරත්නගේ දියණියට හදවත් රෝගයක් වැළදුනේ ඇය පසුගිය සමයේ මුහුණ දුන් ඒ කටුක ජීවන අත්දැකීම් වල ප්‍රතිඵලයක් වශයෙනි. ආදරණීය පවුලක් කඩා ඉහිරවා අබලන්ව ගිය සපත්තු පාලම පසුකර යන ගෙදරඔය, අදද විටෙක සංසුන්වද, විටෙක රුදුරුවද ගලා බසී. මෙලෙස අබලන්ව ඇති සපත්තු පාලම පිළිබඳව ප්‍රදේශවාසීන් එක්ව ගම්මැද්ද මහ ලේකම් කාර්යාලයට කළ ඉල්ලීමකට අනුව සපත්තු පාලම එම ස්ථානයෙන් ඉවත්කොට අඩි 60 කින් සමන්විත නව පාලමක් ඉදි කෙරිණි . මේ සදහා අනුග්‍රහය දැක්වූයේ MAS ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගමයි. පවුල් 500ක දරුවන්ගේ ජීවත් වීමේ අයිතියත්, ගොවිතැනින් ජීවත් වන ඒ අසරණ මිනිසුන්ගේ පවුල් ජීවිතත් ආරක්ෂා කිරීමට ඒ හරහා ගම්මැද්දට අවස්ථාව හිමිවිය. මහාමාර්ග ඇමතිකමද මහනුවරම ඇමතිවරයෙකු දැරූ සමයකදීද ඉදිනොවුනු පාලම් "ගම්මැද්දෙන්" ඉදිවනවිට එම ගම්වාසීන්ට සිය ජන්දය ගැන පසුතැවිල්ලක් මෙන්ම ගම්මැද්දේ මනුස්සකම ගැන ආදරයක්ද, ගෞරවයක්ද ඇතිවීම සාධාරණය. ඒ දුප්පත් මිනිසුන් රටේ පාලකයින්ගෙන් අයදින්නේ සිය දරුවන්ගේ ජීවත්වීමේ අයිතියයි.... සපත්තු පාලම ජනසතු කිරීමේ උත්සවයට කැපිටල් මහරාජා ආයතනයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල්, නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සාමාන්‍ය අධිකාරී යසරත් කමල්සිරි, නිව්ස්ෆස්ට් පරිපාලන අධ්‍යක්ෂ කිත්සිරි දයානන්ද, ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරාළ, කණ්ඩායම් කණ්ඩායම් නායක අමීන් අස්හර්, MAS ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු, එම ආයතනයේ නිෂ්පාදන අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මානව සම්පත් අධ්‍යක්ෂ දිනාල් පීරිස් යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියහ.