මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

කීත් නොයාර් පැහැර ගැනීම: අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

by Staff writer 26-06-2018 | 5:32 PM

COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල්, යුද හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී අමල් කරුණාසේකර මහතා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී සිද්ධියට අදාළ 8 වැනි සැකකරු වන අමල් කරුණාසේකර මහතා බන්ධනාගාරය මගින් අද අධිකරණයට ඉදිරිපත් කර නොමැත. බන්ධනාගාරය සැකකරු වෙනුවෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුට ඇප ලබා නොදෙන ලෙසයි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශෙහාන් සිල්වා මහතා තම සේවාදායකයා මාස 3 ට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය සැකකරු ලබන මස 10 වැනි දින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් දොම්පේ බදුවත්තේ ආරක්ෂිත නිවසක රඳවාගෙන පහරදීම සම්බන්ධයෙන් රහස් පොලීසිය කළ විමර්ශනවලදී හෙළි නොවූ කරුණු කිහිපයක් පිළිබඳ පැහැදිලි කර ගැනීමට හමුදා බුද්ධි අංශයෙන් කරුණු කිහිපයක් ගැන විමසා තිබූ නමුත් ජාතික ආරක්ෂක හේතු මත එම කරුණු හෙළි කිරීමට නොහැකි බව හමුදා බුද්ධි අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත. අද දින පැමිණිල්ල විභාගයට පෙර අධිකරණයේ නියෝගය පරිදි හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා, අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් නිල මැදිරියේ රහස් සාකච්ඡාවක් පවත්වනු ලැබිණි. අප වාර්තාකරු සඳහන් කළේ, පැය එකහමාරකට අධික කාලයක් එම සාකච්ඡාව පැවති බවයි.