කඹුරුපිටියේදී පැන ගිය සැකකරුවන් සොයා STF මෙහෙයුමක්

කඹුරුපිටියේදී පැන ගිය පාතාල කල්ලි සාමාජිකයින් සොයා STF මෙහෙයුමක්

by Staff writer 26-06-2018 | 6:46 AM

COLOMBO (News 1st)  මාතර කඹුරුපිටියේදී පොලිස් විශේෂකාර්ය බලකාය සමග ඊයේ රාත්‍රි ඇති වූ වෙඩි හුවමාරුවේදී පලා ගිය සැකකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පතාල කල්ලි සමාජිකයින් අතර වෙඩි හුවමාරුව සිදු වන අවස්ථාවේදී සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගොස් ඇති බවයි. ඊයේ රාත්‍රී ඔවුන් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළේ ය. මාතර කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 7 .45 ට පමණ පොලිස් විශේෂකාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවේදී දකුණේ පාතාල කල්ලි සමාජිකයෙක් ජීවිතක්ෂයට පත් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අවි ගත් සන්නද්ධ පිරිසක් කඹුරුපිටිය ප්‍රදේශයේ සැරිසරන බවට පොලිස් විශේෂකාර්ය බලකායට තොරතුරුක් ලැබුණු බවයි. එම තොරතුර අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය මාර්ග බාධක යොදා ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. අණ නොතකා ත්‍රිරෝද රථය එම අවස්ථාවේදී පලාගොස් ඇති අතර එහිදි ත්‍රිරෝධ රථය පිටුපස පොලිස් විශේෂකාර්ය බලකා ජීප් රථයක් හඹා ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. එම ත්‍රිරෝද රථය විල්පිට කෑළෑවට හරවා එහි සිටි පුද්ගලයින් පොලිස් විශේෂකාර්ය බලකා සෙබළුන්ට වෙඩි තබා තිබේ. විශේෂකාර්ය බලකා සෙබළුන් එල්ල කළ ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු තුවාල ලබා වැටි සිටියදී සොයාගත් අතර ඔහු ලග තිබි ටී 56 ගිනි අවියක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු කඹුරුපිටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය එම අවස්ථාවේදී කළ වෙඩි තැබිමෙන් මාකඳුරේ මදුෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ දකුණු පළාතේ සිටින ප්‍රධානතම ගෝලයෙකු වන හේවා සුදු අකුරුගේ මානෙල් රෝහණ හෙවත් තිලක් නමැත්තා මිය ගිය බවයි.