FIFA  සුපිරි 16යේ වටයට කණ්ඩායම් 7 ක්

සුවිශේෂි සිදුවීම් රැසක් මැද ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16යේ වටයට කණ්ඩායම් 7 ක්

by Staff writer 25-06-2018 | 9:32 PM

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට පිවිසීමට මේ වන විට කණ්ඩායම් 7 ක් සමත්ව තිබේ.

රුසියාවේදී 21 වරට මෙවර පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට කලාප 5 කින් කණ්ඩායම් 32 ක් සහභාගී වනු ඇති. පසුගිය ජූනි මස 14 වන දා ආරම්භ වූ පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට රුසියාව සමත් වූයේ සිය සත්කාරකත්වයට නවමු වටිනාකමක් ලබා දෙමිනි. තවමත් මූලික වටයේ තරග ක්‍රියාත්මක වන තරගාවලියේ මේ වන විටත් කණ්ඩායම් 7 ක් තරගාවලියේ සිය ස්ථාන තහවුරු කරගෙන අවසන් ය. ඒ කාණ්ඩයෙන් රුසියාව හා උරුගුවේ, සී කාණ්ඩයෙන් ප්‍රංශය, ඩී කාණ්ඩයෙන් ක්‍රොඑශියාව, එෆ් කාණ්ඩයෙන් මෙක්සිකෝව හා ජී කාණ්ඩයෙන් එංගලන්තය හා බෙල්ඩියම මේ වන විට තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන සිටි. ආර්ජන්ටිනාව, ඊජිප්තුව, පෘතුගාලය, ස්පාඤ්ඤය හා වත්මන් ලෝක ශූර ජර්මනිය වැනි කණ්ඩායම් පිළිබඳ බොහෝ පාපන්දු ලෝලීන් තරගාවලිය ඇරඹීමට ප්‍රථම බලාපොරොත්තු තබාගෙන සිටිය ද තරගාවලිය තුළදී ඔවුන්ගේ බලාපොරොත්තු බිඳි වැටුනේ කිසිවෙකු නොසිතු ලෙසිනි. ලෝක ශූර ජර්මනියට ද මෙක්සිකෝව හමුවේ පසුබෑමට ලක්වීමට සිදු විය. ක්‍රොඑශියාව හමුවේ සුපිරි ක්‍රීඩක ලියනොල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව ගෝල 3 ට 0 ක් ලෙස පරාජය වූයේ මෙවර තරගාවලිය වෙත පාපන්දු ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානය යොමු කරමිනි. කිසිවෙකු නොසිතූ ලෙස මොහොමඩ් සාලාගේ ඊජිප්තු කණ්ඩායම තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීම ද කැපිපෙනෙන සිදුවීමකි. ඊජිප්තුවේ පාපන්දු තරුව වන මොහොමඞ් සාලාට චෙච්නියාවේ ගෞරවනීය පුරවැසිභාවය ලබාදීමට චෙච්නියානු නායක රම්සාන් කඩීරෝ කටයුතු කළේ ය. සාලා ගෞරවනීය පුරවැසියකු කරමින් ලංඡනය සහ සහතිකපත් පිටපතක් ඔහුට පිරිනැමුණි. විශාල ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය පුරාවට ද බොහෝ විශේෂ සිදූවීම් රැසක් වාර්තා විය. මේ අතුරින් ජපානය වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුවූයේ ඔවුන් සහභාගී වන තරගවලින් අනතුරුව ජපාන ප්‍රේක්ෂකයින් එම තරගය පැවැත් වූ ක්‍රීඩාගාරය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවීම හේතුවෙන් ය. මේ අතර ස්විට්සර්ලන්තයේ ග්‍රැනිට් චකාට හා චෙඩාන් චකීරීට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් තරග තහනමක් ද පැනවිණි. ඒ, සර්බියාව සමග පැවැති තරගයේදී ගෝල රැස් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇල්බීනියාවේ ජාතික ධජයේ සටහන් පක්ෂියාගේ සලකුණ සිය අත්වලින් ප්‍රදර්ශනය කිරීම හේතුවෙනි. මේ අතර ජර්මනිය හා ස්වීඩනය අතර පැවැති තරගයෙන් අනතුරුව දෙපිල අතර ගැටුම්කාරී තත්වයක් ද ඇතිවුන අතර එම සිදුවීම විදෙස් මාධ්‍යවල අවධානයට යොමුවී නොමැත. තරගාවලියේ දින 11 ක් අවසන් වන විට වැඩිම ගෝල වාර්තා කරන්නන් අතර පෙරමුණ ගැනීමට එංගලන්ත නායක හැරී කේන් සිටි. ඒ, ගෝල 5 ක් වාර්තා කරමිනි. එහි පිළිවෙලින් දෙවන ස්ථානය හා තෙවන ස්ථානය ගෝල 4 බැගින් වාර්තා කළ බෙල්ජියමේ රැමේලු ලුකාකුට සහා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝට හිමිව තිබේ. තරගාවලියේ තව ත් තරග 4 ක් අද පැවැත් වෙනු ඇති.