ජාතික පොසොන් සතිය ඇරඹෙයි

'මෛත්‍රියෙන් සිත් නිවමු' ජාතික පොසොන් සතිය ඇරඹෙයි

by Staff writer 25-06-2018 | 10:54 AM
ජාතික පොසොන් උත්සවය අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් ලබන 30 වනදා දක්වා පැවැත්වේ. “මෛත්‍රියෙන් සිත් නිවමු” යන්න තේමා කරගනිමින් ජාතික පොසොන් සතිය ඊයේ ආරම්භ විය. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් බැතිමතුන් ලක්ෂ 8 ත් 10 ත් අතර සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බව අනුරාධපුර පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සලසා ඇති බවයි. අනුරාධපුරයට සහ මිහින්තලයට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දියනෑම සඳහා මෙවර වෙන්කර ඇත්තේ බසවක්කුලම වැව, බුලංකුලම වැව සහ සුනාත විශ්‍රාම ශාලාව අසල පිහිටි පොකුණු තුන පමණි. නුවර වැව සහ තිසා වැවෙන් ස්නානය කිරීම සපුරා තහනම් බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. පොසොන් උත්සවයට අනුරාධපුරය බලා යන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට බස් රථ 1500 ක් ධාවනයට යොදවා ඇති බවයි. පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය. ඔහු ඉල්ලා සිටින්නේ මහව සිට අනුරාධපුර දක්වා පටු පාලම් පවතින බැවින් පා පුවරුවේ ගමන් කිරීමෙන් වළකින ලෙසයි.