තුර්කි ජනපතිවරණයෙන් ජනපති අර්ඩොවාන් ඉදිරියෙන්

තුර්කි ජනපතිවරණයෙන් ජනපති අර්ඩොවාන් ඉදිරියෙන්

by Staff writer 25-06-2018 | 6:58 AM
ජනාධිපතිවරණයෙන් තමන් ජය ගෙන ඇතැයි, නිල නොලත් වාර්තා පෙන්වා දෙන බව තුර්කි ජනාධිපති රිසෙප් තයීප් අර්ඩොවාන් පවසයි. තුර්කි රජයේ මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ජන්දවලින් 96% ක් ගණනය කර ඇති අතර ඉන් ජනපති අර්ඩොවාන් 53% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවයි . එම වාර්තාවලට අනුව ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වන මුහාරෙම් ඉන්ස් ලබා ඇති ජන්ද ප්‍රතිශතය 31% කි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම ඒ කේ පක්ෂයේ පාලක සන්ධානය  ,පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට සමත්ව ඇති බව ද රිසෙප් තයීප් අර්ඩොවාන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් ගණනය නොකළ ජන්ද රැසක් ඇති බැවින් තවමත් ප්‍රතිඵල නිවේදනය කිරීමට කල් වැඩි යන්න විපක්ෂයේ මතයයි. ඊයේ පැවති තුර්කි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව එරට නව ව්‍යවස්ථාව බලාත්මක කෙරෙන අතර ඉන් ජනපතිවරයාට තවත් බලතල රැසක් හිමිවනු ඇති. එක් පුද්ගලයකුට වැඩි බලයක් හිමිකර දෙන මෙම නව ව්‍යවස්ථාව , දේශපාලන විචාරකයන්ගේ විවේචනයට ද ලක්ව තිබේ. මෙවර තුර්කි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජන්දය භාවිත කළ පුද්ගලයන් ප්‍රතිශතය 87%කි. 2019 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ ඊයේ පැවැත්වීමට පියවර ගත්තේ රිසෙප් තයීප් අර්ඩොගන්ගේ තීරණයක් අනුවයි. 2014 වසරේදී තුර්කි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර වසර 11 ක් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද රිසෙප් තයීප් අර්ඩොවාන් ය. 2016 වසරේ ඔහුට එරෙහිව ක්‍රියාත්මක කළ හමුදා කුමන්ත්‍රණයක් අසාර්ථක වීමෙන් පසු සිය බලතල තවදුරටත් වර්ධනය කරගැනීමට අර්ඩොවාන් පියවර ගත්තේ ය.