අජිත් නිවාඩ් කබ්රාල්ට අමතක වූ අතීතය

අජිත් නිවාඩ් කබ්රාල්ට අමතක වූ අතීතය

by Staff writer 25-06-2018 | 8:30 PM

COLOMBO (News 1st) - හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ ආර්ථිකය පිළිබඳව ඊයේ මහනුවරදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබේ.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්,
දැන් හිතලා බලන්න යම් කිසි පුද්ගලයෙකුට ණයක් ගත්තාම ඒ ණය අමාරුයි කියලා දැනෙන්නේ කොයි වේලාවේද? පුද්ගලයාගේ ජොබ් එක නැතිවුණාම ණය ගැන බය වෙනවා. ජොබ් එක තියනවානම් ගෙට ණය ගෙවනවා, අද වෙලා තියෙනනේ ඒ දෙකම, ජොබ්ස් නැතිවෙනවා, පොළී අනුපාතයත් නැතිවෙනවා, ඒ එක්කම රුපියලත් අවප්‍රමාණය වෙනවා. අද පොළී අනුපාතය 50% කින් වැඩිවෙලා තියනවා. ඉතින් එතකොට අපිට සිදුවෙන්නේ හිතාගන්න මේ කළමනාකාරීත්වය හරහා අපිට ගමනනක් යන්න බැහැයි කියන එක තමයි
අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකුවේ හිටපු අධිපතිතුමනි, ඔබටත් අතීතය අමතකවී ඇති බව පෙනේ. 2006 ජුලි 01වන දා සිට 2015 ජනවාරි 9 වන දා දක්වා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ඔබ කළ කී දේ ඔබට අමතක වූවත් රටේ ජනතාවට නම් අමතක නැත. අද රටේ ආර්ථිකය ඇදවැටී ඇති තත්ත්වයට ඔබ ද වගකිව යුතු නොවේ ද? 2011 වසරේ මුළු ලෝකයම කඩා වැටෙන ආර්ථිකයක් ලෙස හඳුනාගත් ග්‍රීසියේ බැඳුම්කරවල අපේ රටේ ජනතාවගේ මුදල් ආයෝජනය කිරීමට තීරණය කළ අවස්ථාව ඔබට අමතක ද? ලාභය කෙසේවෙතත් ආයෝජනය කළ මුදලවත් ආපසු ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් රුපියල් මිලියන 2100 කට වඩා පාඩුවක් මේ ගනුදෙනුවෙන් රටට සිදු විය. ඛනිජතෙල් මිලදී ගැනීමට හෙජින් ක්‍රමයක් හඳුන්වාදීමට ඔබ කළ මැදිහත්වීම රටේ ජනතාවට නම් තවමක් අමතකවී නොමැත. 2007 සහ 2008 කාලවලදී ඩොලර් 80 ට මිලදීගත හැකිව තිබූ තෙල් බැරලයට ඩොලර් 110 බැගින් ගෙවීමට සිදු වූයේ මේ වැරදි තීරණය නිසා නොවේ ද? අවසානයේ ගිවිසුම්ගත වූ බැංකු මුදල් අයකරගත්තේ ලන්ඩන් මහාධිකරණය හමුවේ අපේ රටට එරෙහිව නඩු පැවරීමෙන් පසුවයි. ලන්ඩන් මහාධිකරණයේ නඩු තීන්දුව අනුව එක් බැංකුවකට අමෙරිකානු ඩොලර් දස ලක්‍ෂ 162 ක මුදලක් ගෙවීමට නියමවුන බව කබ්රාල් මහතාට අමතක ද? 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සත්කාරකත්වය හම්බන්තොටට ලබාගැනීම සඳහා හිතවතුන් පිරිවරාගෙන කුලියට ගත් ගුවන් යානයකින් 2013දී ගිය ලන්ඩන් සංචාරයෙන් රටට ලැබුන ප්‍රතිලාභය කුමක් ද? කොටස් වෙළෙඳපොළේ කොටස් වටිනාකම් කෘතිමව ඉහළ පහළ දමා දර්ශක වෙනස්කර පෙන් වූ ආකාරය කාටත් අමතකවීමට හේතුවක් නොමැත. ප්‍රධාන නියාමන ආයතනය වන මහ බැංකුවේ අධිපතිව සිටියදී පම්පින් ඩම්පින් හරහා සේවක අර්ථ සාධක අරමුදල ඇතුලු රටේ ජනතාවගේ පොදු අරමුදල් පාඩු ලබන ආකාරයෙන් ආයෝජනය කර තෝරාගත් පිරිසකට ප්‍රතිලාභ අත්කර දුන්නේ ඔබ මහ බැංකු අධිපතිව සිටි කාලසීමාවේ නොවේ ද? හයට් හෝටල් ව්‍යාපෘතිය, මලයාසියානු අර්ථසාධක අරමුදල වැනි ස්ථානවල සේවක අරමුදල් ආයෝජනය කර ඒවායේ ප්‍රතිලාභ පොදු ජනතාවට අහිමි කළ අවස්ථා ඕනෑතරම් පෙන්වාදිය හැකියි. මහ බැංකුවේ සේවක අරමුදල් හා විදුලි බල මණ්ඩලයේ සේවක අරමුදල් මිලියන 500 ක් පමණ ඔබගේ කාලයේ පිල්ලි ගිය ආකාරය තවමත් අභිරහසක් ව ඇත. අජිත් නිවාඩ් කබ්රාල් හිටපු අධිපතිතුමනි, මේ එකක් දෙකක් පමණි. අජිත් නිඩාඩ් කබ්රාල් මහතාගේ කියුම් කෙරුම් 2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත් වූ අලුත අධිකරණයට හමුවේ නඩුවක් ලෙස ගොනු කිරීමට පියවර ගෙන තිබුණි. තරුණ නීතිඥයෙකු වන කැලුම් දර්ශන කුමාරසිංහ මහතා මේ නඩු ගොනු කළේ, ග්‍රීක බැඳුම්කර ඇතුලු අක්‍රමිකතා ගැන පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරමිනි. නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබියදී කබ්රාල් මහතාට හිතවත් පාර්ශ්වයක් වූ පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා බැඳුම්කර වංචාව පිළිබඳව මහ බැංකුවේ එවක අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කළේ ය. මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මහේන්ද්‍රන් මහතාට නොතීසි නිකුත් කළ අතර කබ්රාල් මහතාට එරෙහි නඩුවට අදාළව ඔහුටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් නොතීසි නිකුත් කළ යුතු බවට අධිකරණයේ සාකච්ඡා වෙමින් තිබියදී නඩු දෙකම දෙපාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ. 2015 අගෝස්තු 27 මේ නඩු ඉල්ලා අස්කර ගත්තේ මහ මැතිවරණය ආසන්නයේ තිබියදී ය. බැඳුම්කර වංචා කළ බව කියන පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගමට ප්‍රාථමික ගැනුම්කරවෙකු ලෙස කටයුතු කිරීමට අවසර දුන්නේ අජිත් නිඩාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි 2013 වසරේදීයි. ඒ වනවිට කබ්රාල් මහතාගේ සහෝදරිය වන ශිරෝමි වික්‍රමසිංහ මහත්මිය පර්පෙචුවෙල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයෙකි. පර්පෙචුවෙල් ට්‍රෂරීස් අයත් වූ මව් සමාගම වන පර්පෙචුවෙල් කැපිටල් හෝල්ඩින් සමාගමට ප්‍රාථමික ගැනුම්කරුවෙකුවීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනය පවා නොතිබූ අවස්ථාවක ප්‍රාථමික ගැනුම්කාර අවසරය ලබාදී ඇත. අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමනි රටේ ජනතාව මේවා නොදන්නා බව ඔබ සිතනවා විය හැකියි. එහෙත් අවසානයේ ඔබට පැවසීමට ඇත්තේ වීදුරු ගෙවල්තුල සිට ගල් නොගසන ලෙසයි.