කොදෙව්වන් අසරණ වෙයි

ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉදිරියේ කොදෙව්වන් අසරණ වෙයි

by Chathuranga Rajapaksha 24-06-2018 | 8:57 AM

COLOMBO (News 1st) - තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසන් තරගය අද පළමු දිනට පැවැත්විය.

අද දිනය සදහා තරගය නතර කරන විට කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුව පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 132 කි. දිවා / රාත්‍රි ටෙස්ට් තරගයක් ලෙස මෙම තරගය පැවැත්වෙන්නේ බාර්බඩෝස්හී කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ය. මෙම ටෙස්ට් තරගය වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දිවා/රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගක දෙපිලම වේග පන්දු යවන්නන් මෙහෙයවන පළමු තරගය ලෙස ය. කොදෙව් ඉනිම ආරම්භ කරමින් ක්‍රේග් බ්‍රත්වෙයිට් හා ඩෙවෝන් ස්මිත් පිටියට පිවිසියේය. කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. මුළු ලකුණු සංඛ්‍යාව 4 ක්ව තිබියදී ඔවුන්ගේ මුල් කඩුළු 3 ම බිඳ වැටුණි. ක්‍රේග් බ්‍රත්වෙයිට් හා ඩෙවොන් ස්මිත්ට රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 2 ක් පමණි. කිරන් පවෙල් ලකුණු 4 ක් රැස් කළේය. ශායි හෝප් ලකුණු 11 කට හා රොස්ටන් චේස් ලකුණු 14 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් විය. ශේන් ඩොර්විච් සිය ටෙස්ට් දිවියේ 7 වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.