බැඳුම්කර වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම සුදුසුද?

බැඳුම්කර වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම සුදුසුද? නීතිපතිගෙන් ජනපති ලේකම්ට ලිපියක්

by Staff writer 24-06-2018 | 8:07 AM

COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන්, විමර්ශනය කළ ජනපති කොමිසමේ වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමට පිළිතුරු ලෙස එම ලිපිය යොමු කළ බව ය. ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධ කිරිමෙන්, විභාග වෙමින් ඇති අපරාධ නඩු සහ සිවිල් නඩු වලට බාධාවක් ඇති විය හැකි බව ඉන් දැනුම් දී තිබේ. ඇතැම් ඇමුණුම් කිහිපයක් ප්‍රසිද්ධ කිරිමෙන්, විමර්ශනවලට කිසිඳු බාධාවක් නොවන බව ද අදාළ ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයා සඳහන් කළේය. නීතිපති ජයන්ත ජයසූරිය මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ, ජනපති කොමිසමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති රහසිගත ලේඛන ප්‍රසිද්ධ කිරිම සම්බන්ධයෙන් එම ආයතනවලින් නිර්දේශ ලබා ගත යුතු බව තමා දැන්වූ බව ය. කොමිෂන් සභා වාර්තාවට තුන්වන පාර්ශව විසින් ඉදිරිපත් කර ඇති ලේඛන පිළිබඳ වෙන් වෙන්ව නිර්දේශ ලබාගත යුතු බව ද ඔහු සඳහන් කළේය. වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරිම සම්බන්ධයෙන්, නීතිපති උපදෙස් සහිත එම ලිපිය පසුගිය සිකුරාදා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාට යොමු කර තිබේ. නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, මහ බැංකු බැදුම්කර ගනුදෙනුවට අදාළව සිදු කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන වලදී අනාවරණ වන කරුණු සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් ඇති බව ය.