බැඳුම්කර වාර්තාවට අදාළව නීතිපතිගෙන් ජනාධිපති ලේකම්

බැඳුම්කර වාර්තාවට අදාළව නීතිපතිගෙන් ජනාධිපති ලේකම්ට ලිපියක්

by Staff writer 24-06-2018 | 8:51 PM

COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර ජනපති කොමිසමේ වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කළ විමසීමට පිළිතුරු ලෙස එම ලිපිය යොමු කළ බවයි. ජනාධිපති විමර්ශන වාර්තාවේ ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධ කිරීමෙන්, විභාග වෙමින් තිබෙන අපරාධ නඩු සහ සිවිල් නඩුවලට බාධාවක් ඇති විය හැකි බව නීතිපතිවරයා පෙන්වා දෙයි. නමුත් ඉන් ඇමුණුම් කිහිපයක් ප්‍රසිද්ධ කිරීමෙන්, විමර්ශනවලට කිසිදු බාධාවක් නොවන බව ද අදාළ ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයා සඳහන් කළේ ය. නීතිපති ජයන්ත ජයසුරීය මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ, ජනපති කොමිසම් වාර්තාවේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති රහසිගත ලේඛන ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන්, එම ආයතනවලින් නිර්දේශ ලබාගත යුතු බව තමා දැන්වූ බවයි. කොමිෂන් සභා වාර්තාවට තෙවන පාර්ශව විසින් ඉදිරිපත් කර ඇති ලේඛන පිළිබඳ වෙන් වෙන්ව නිර්දේශ ලබාගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය. වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන්, නීතිපති උපදෙස් සහිත එම ලිපිය පසුගිය සිකුරාදා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාට යොමු කර තිබේ. නීතිපති ජයන්ත ජයසුරිය මහතා ප්‍රකාශ කළේ, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී අනාවරණ වන කරුණු සම්බන්ධයෙන්, විශේෂ අධ්‍යයනයක් සිදුකරමින් ඇති බවයි.