by Staff writer 24-06-2018 | 7:51 PM
COLOMBO (News 1st) - කොල්ලකරුවන් පිරිසක් මර්දනය කරන්නැයි ඉහළින් ලැබුණු නියෝගය අනුව කඩිනමින් ක්‍රියාත්මකවී ජීවිතය ද පූජා කළ විරෝධාර පොලිස් නිලධාරියා අද දැයෙන් සමුගත්තේ ය.
මුළු රටම දන්නා ඔහු මාතර පොලීසියේ කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහයි.
සන්නද්ධ කොල්ලකරුවන් පිරිස සමග ඔහු තනිව සටන් වැදුණු ආකාරය සියලු රටවැසියන්ගේ හදවත් සසල කළහ.
ඉකුත් 22 වන දා උදෑසන 10.00 ට පමණ මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අළෙවිසැළකට මුහුණු ආවරණය කරගත් ආයුධ සන්නද්ධ පුද්ලයින් 6 දෙනෙකු පැමිණියහ.
පරීක්ෂණවලදී අනාවරණය වූයේ, ඔවුන්ගෙන් තිදෙනෙකු ස්වර්ණාභරණ අළෙවිසැළ තුළට ගිය බවයි.
දෙදෙනෙකු පිටත ද තව ත් අයෙකු අළෙවිසැළ ඉදිරිපිට ද සිට ඇතැයි හෙළිවී ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පළමුවෙන්ම මාතර පොලිස් ස්ථානය දැනුවත් කර තිබුණේ කාන්තාවකි.
පසුව ස්වර්ණාභරණ අළෙවිසැලේ හදිසි සංඥාව ද සේවකයෙකු විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබු අතර ඒ ආසන්නයේ
සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
සන්නද්ධ කොල්ලකරුවන් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් ඇති වූයේ ඉන් අනතුරුවයි.
පොලිස් රාජකාරිය දේවකාරියක් ලෙස සැලකු මේ නිර්භීත කොස්තාපල්වරයා බියපත්ව පැන ගියේ නැත.
කොල්ලකරුවන් ඔහු වටකරගනිමින් පහර දුන් අතර පසුව හෙළි වූයේ ඔහුට වෙඩි ප්‍රහාර 6 ක් ද එල්ල කර ඇති බවයි.
කොස්තාපල් සුරංග වීරසිංහ මහතා පසුව සැරයන් ධූරයට උසස් කෙරුණු අතර අවසන් කටයුතු අද සිදු කෙරිණි.
පසුව වීරසිංහ මහතාගේ දේහය මාතර පොලීසියට රැගෙන ගියේ ය.
මේ විරෝධාර පොලිස් නිලධාරියාට කෘතවේදීත්වය පළ කරමින් මාතර නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා තිබුණි.
දේහය මාතර නගරයට ගෙන එන විට ගුවනින් පුෂ්පෝපහාර ද පුද කෙරිණි.
වීරසිංහ මහතාගේ දේහය අද පස්වරුවේ මාතර සුසාන භූමියේදී මිහිදන් කෙරුණේ පැමිණ සිටි සියල්ලන් දැඩි ලෙස කම්පා කරවමිනි.
මේ අතර අදාළ ස්වර්ණභරණ අළෙවිසැළ කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක සහ අනෙක් සැකකරු අද දහවල් අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිණි.
අප වාර්තාකරු පැවසුවේ, පුර්ණ ආරක්ෂාව මධ්‍යයේ ඔවුන් රැගෙන ගිය බවයි.
ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා සැකකරුවන් ලබන මස 02 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.
මෙම සිදුවීමට සම්බන්ධ තව ත් පුද්ගලයින් දෙදෙනෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
පොලීසිය සඳහන් කළේ, එක් සැකකරුවෙකු ඔවුන් පැමිණි මෝටර් රථයේ රියැදුරු බවයි.