කොටියා ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

කොටියා ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 24-06-2018 | 8:14 AM

COLOMBO (News 1st) - කිලිනොච්චිය, අම්බාල්කුලම් ප්‍රදේශයේදී කොටියෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ සිදුකළ මෙහෙයුමක් අතරතුර ඔහු අත්අඩංගුවට ගත් බව ය. සැකකරු කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ. පොලීසිය පැවසුවේ ගම්මාන 4 ක හෝ 5 ක පමණ පුද්ගලයින් ඊට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ය. සැකකරුවන්, කොටියාට මුඟුරු වලින් පහරදී ඝාතනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් පොලිස් ස්ථානයට භාර දී තිබේ. ඒ අනුව, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය. කොටියා ඝාතනය කිරිමට සම්බන්ධයෙන් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා පොලීසියට නියෝග කළේය. ඒ වන ජිවී නිලධාරීන්, අධිකරණයට කළ කරුණු දැක්වීමක් සළකා බැලීමෙන් අනතුරුවයි. කොටියා ඝාතනය කරන අයුරු දැක්වෙන, විඩියෝ පට සහ සමාජ මාධ්‍ය ජාලවල පලවූ දර්ශන පාදක කරගනිමින්, මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරාය නියෝග කර තිබේ. මේ අතර කොටියා ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වන ජිවී අමාත්‍යාංශය පවසයි. විෂය භාර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කමිටුවක් ද ක්‍රියාත්මක බව ය.