මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු හෙට

මාතර වෙඩි හුවමාරුවේදී මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු හෙට

by Staff writer 23-06-2018 | 5:26 PM
COLOMBO (News 1st) - මාතර දී පොලීසිය සමග ඊයේ ඇතිවූ වෙඩි හුවමාරුවේදි කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් මිය ගිය පොලිස් කොස්තාපල් ඩබ්ලිව් ජී.පී.එන්. වීරසිංහ මහතාගේ දේහය ඔහුගේ නිවසට රැගෙනවිත් තිබේ. මිය ගිය පොලිස් කොස්තාපල්වරයාගේ දේහය මාතර, ගොඩගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ. ඔහුගේ දේහයට අද උදැසන වැඩබලන පොලිස්පති සී.ටී. වික්‍රමරත්න මහතා අවසන් ගෞරව දැක්විය. 35 හැවිරිදි ඩබ්ලිව් ජී.පී.එන්.වීරසිංහ මහතා දෙදරු පියෙකි. 2007 වර්ෂයේ පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති ඔහු 2008 වර්ෂයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය හා සම්බන්ධ වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ වීරසිංහ මහතා පසුගිය වසරේදී නැවත ශ්‍රී ලංකා පොලිසීයට එක්ව ඇති අතර එදා සිට මාතර පොලීසියට අනුයුක්තව සේවය කර ඇති බව ය. ගිනි අවියක් අතැතිව සිටින සැකකරුවෙකු වෙත නිරායුධව පැන ඔහු අත්අඩංගුවට ගන්නට එම නිලධාරීයා කළ එඩිතර උත්සාහය සිද්ධිය වූ දිනයේ සී.සී.ටී.වී. දර්ශන වල පටිගත වී තිබුණි. අප වාර්තාකරු පැවසුවේ පොලිස් කොස්තාපල් වීරසිංහ මහතා පස් දෙනෙකුගෙන යුත් පවුලේ දෙවනියා වන අතර අනික් සහෝදරයන් තිදෙනාද හමුදා නිලධාරීන් ලෙස සේවය කරන බව ය. මිය ගිය පොලිස් කොස්තාපල් වීරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරිමට නියමිත අතර ඔහු කොස්තාපල් නිලයේ සිට සැරයන් නිලයට උසස් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ඊයේ ක්‍රියා කළේය.