මාතර වෙඩි තැබීම:කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා රිමාන්ඩ්

මාතර වෙඩි තැබීම: කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා රිමාන්ඩ්

by Staff writer 23-06-2018 | 7:08 PM

COLOMBO (News 1st) - මාතර දී ස්වර්ණාභරණ අලෙවි සැලක් කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවෙන් පසුව අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරක ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් තුන්දෙනා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරුවන් තිදෙනා පොලිස් ආරක්ෂාව යටතේ දැනට ප්‍රතිකාර ලබන්නේ කරාපිටිය රෝහලේය. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් මහතා අද පස්වරුවේ කරාපිටිය රෝහලට ගොස් සැකකරුවන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නේය. මහේස්ත්‍රාත්වරයා වැඩි දුරට ත් නියෝග කළේ, එදිනට සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර හඳුනා ගැනීමේ පෙරට්ටුවකට තබන ලෙස ය. මේ අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබේ. පොලීසිය පැවසුවේ, මාතර පොලීසියට අමතරව පොලිස් කණ්ඩායම් 06 ක් ඒ සඳහා යොදවා ඇති බව ය. කොල්ලයට පැමිණි සංවිධානාත්මක අපරාධකරුවන් හා පොලීසිය අතර ඊයේ පෙරවරුවේ වෙඩි හුවමාරුවක් සිදුවූ අතර එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තවත්, නිලධාරීන් දෙදෙනෙකු හා සිවිල්වැසියෙකු තුවාල සිදුවිය. වෙඩි හුවමාරුවේදී මිය ගියේ මාතර පොලීසියට අනුයුක්තව සේවයකළ ඩබ්ලිව් ජී.පී.එන්. වීරසිංහ නැමති පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහුගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව හෙට මාතර පොදු සුසාන භූමියේදී පැවැත්වීමට නියමිත ය.