ද්විත්ව පුරවැසිභාවයට මාසිකව අයැදුම්පත් 1000ක්

ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට මාසිකව අයැදුම්පත් 1000ක්

by Staff writer 23-06-2018 | 10:38 AM
COLOMBO (News 1st) - ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා මාසිකව අයැදුම්පත් 1000ක් පමණ ලැබෙන බව ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ ආරක්ෂක, විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් එම අයැදුම්පත් පරීක්ෂා කොට අනුමත කිරීමෙන් පසු ඔවුන්ට ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන බව ය. එසේ තෝරා ගෙන ඇති අයැදුම්කරුවන් 800කට ලබන මස මුලදී ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි නිහාල් රණසිංහ මහතා පැවසුවේ ය. විදේශයන්හි පුරවැසිභාවය ලබා සිටින පුද්ගලයින්ට ශ්‍රී ලාංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් ලක්ෂ 30කි. අයැදුම්කරුගේ බිරිඳ හෝ දරුවන් ද ඒ සඳහා රුපියල් 50,000 බැගින් ගෙවිය යුතු වේ. මේ අතර සියලු ම රටවල් සඳහා නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍රවල හිඟයක් පවතින බව පැවසූ ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේ, ඇණවුම් කරන ලද තොග ප්‍රමාද වීම ඊට හේතු වී ඇති බව ය. එහෙත් දැනට සියලු ම රටවල් සඳහා ගමන් බලපත්‍ර අයැදුම් කරන පුද්ගලයින්ට මැදපෙරදිග රටවල් වෙනුවෙන් නිකුත් කරන ගමන් බලපත්‍රයේ 'සියලු ම රටවල් සඳහා' යන මුද්‍රාව තබා නිකුත් කරන බැවින් එය ප්‍රශ්නයක් නොවන බව ඔහු සඳහන් කළේ ය. ඒ පිළිබඳව විදේශයන්හි පිහිටි ආගමන විගමන අංශ, විදේශ තානාපති කාර්යාල දැනුවත් කොට තිබෙන හෙයින් ගුවන් මගීන්ට ප්‍රශ්නයක් ඇති නොවන බව ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පැවසුවේ ය.