COLOMBO (News 1st) - පුත්තලම, ලක්විජය ගල් අඟුරු බලාගාරයේ යෝජිත සුළං බාධක ඉදි කිරීම සඳහා අද මුල්ගල තැබුවේය.
විදුලි බලාගාරයෙන් ඉවතලන අලු හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාවට දැඩි පාරසරික බලපෑමක් එල්ල වී තිබේ.
ඊට විසඳුමක් ලෙස කිලෝමීටර් 1.6 ක දිගින් යුතු එම සුළං බාධකය ඉදිකිරීමට පියවර ගත් අතර ඒ සඳහා රුපියල් කෝටි 75 ක් වැය වන අතර ව්‍යාපෘතිය වසර 02 කින් අවසන් කිරීමට නියමිත ය.
විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා
ප්‍රශ්ණයක් තිබුණා මේ අලු යනවා එහෙම නැත්නම් ගල් අඟුරුත් එක්ක තියන දුහුවිල්ල ප්‍රදේශයට යනවා. දැන් මේ කෙරෙන්නේ ඒකට මහා පරිමාණ විසඳුමක් ලොකු විසඳුමක් චීන මහාප්‍රාකාරෙ වගේ කිලෝමීටර එක හමාරක තාප්පයක් අපි ගහනවා. දැන් අපි ගල් අඟුරු ගෙනෙද්දිත් උපරිම උත්සාහ කරනවා නියම ප්‍රමිතියෙන් යුතු දුහුවිල්ල අඩු ගල් අඟුරු ගේන්න. දහනයෙන් පසු ඇතිවන අලු ටිකත් දැන් තරගකාරීව අපි නිෂ්පාදකයින්ට ලබා දෙනවා. ඩ්‍රයි ඈෂ් කියන එකට නිෂ්පාදකයෝ අරගෙන යනවා. බොටම් ඈෂ් එකත් ගන්න දැන් තරගයක් ඇතිවෙලා තියනවා.
මේ අතර මෙම යෝජිත සුළං මුවාව සැබැවින්ම අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද අධික හිම පතනය වැළැක්වීමට භාවිතා කරන දැලක් බව අධිකරණයට ඉදිරිපත් කරන ලද ලිපි ගොනුවක දැක්වේ.
පසුගිය කාලය පුරාම නොරොච්චෝලේ බලාගාරයෙන් සිදුවන පරිසර දුෂණය පිළිබඳව කතාබහ කෙරුණු අතර වයඹ පළාත් පරිසර අධිකාරියෙන් මේ සඳහා අදාළ පරිසර බලපත්‍රය ද නිකුත් කර තිබුණේ නැහැ.
රුපියල් කෝටි 75ක වියදමක් දරමින් මේ කරන්නේ පරිසරය බලපත්‍රය ලබා ගැනීමට කරන මිල අධික රඟපෑමක් ද?
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය කිරීමට අප සුදානම්...