මාතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මාතර නගරයේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

by Staff writer 22-06-2018 | 3:29 PM

COLOMBO (News 1st) - මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑමට පැමිණ පොලීසිය සමග වෙඩි හුවමාරුවෙන්, තුවාල ලැබූ සංවිධානාත්මක අපරාධකරුවන් තුන්දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ, වෙඩි වැදුණු සැකකරුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු, කොස්ගොඩ තාරක ලෙස හඳුනාගෙන ඇති බව ය. ඔහු මනුෂ්‍ය ඝාතන හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය. මෙම කොල්ලය සැලසුම් කළ බව කියන ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය. චාමර ඉන්ද්‍රජිත් නැමැති එම සැකකරු වේයන්ගොඩ, මාළිගාතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලීසිය අතර අද පෙරවරුවේ 10ට පමණ ඇති වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව ය. මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කෙරිණි. වෙළඳසැල කොල්ලකන බවට ලද තොරතුරක් මත, මාතර පොලීසිය නිලධාරින් පිරිසක් රැගත් මුර සංචාරක ජීප් රථයක් එම ස්ථානයට පැමිණි අවස්ථාවේ වෙඩි හුවමාරුව සිදුව තිබේ. තුවාල ලැබූ සිවිල් වැසියෙකු ද රෝහල් ගතකර ඇතැයි පොලීසිය සඳහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සැකකරුවන් පැමිණි යතුරු පැදි 2 ක් හා ස්වයංක්‍රීය ගිනි අවියක් ද පොලිස් භාරයට ගත් බව ය.