පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප

by Staff writer 22-06-2018 | 3:41 PM

COLOMBO (News 1st) - මාස 6ක සිර දඬුවම් නියම වු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළේය.

හෝමගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේ, ඥානසාර හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. උන්වහන්සේට විදේශ ගමන් තහනම් කෙරුණු අතර, ඒ පිළිබඳ ආගමන විගමන පාලක ජෙනරාල්වරයා දැනුම්වත් කිරිමට පියවර ගන්නා ලෙස ද නියෝග කළේය. උන්වහන්සේගේ ජාතික හැඳුනුම්පත් අංකය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සංධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරිම ඇතුළු චෝදනාවන්ට වරදකරු වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් පසුගියදා නියම කරනු ලැබිණි. එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය කැඳවූ අවස්ථාවේදී උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා ඥානසාර හිමියන්ට ඇප දෙන ලෙස ඉල්ලා සිටියේය. උන්වහන්සේට ඇප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. උන්වහන්සේ ඉදිරිපත් කර ඇති අභියාචනය මහාධිකරණය හමුවේ කැදවීමට නියමිත ය.