ප්‍රංශය සුපිරි 16 දෙනාගේ වටයට

ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට

by Staff writer 22-06-2018 | 4:13 PM

(News 1st) - ප්‍රංශ කණ්ඩායම 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, පේරු කණ්ඩායමට එරෙහිව පැවැති මූලික වටයේ තරගය ජය ගැනීමත් සමගිනි. ප්‍රංශය මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී සී කාණ්ඩයෙන් තරග කරනු ලැබේ. ඔවුන් සහ පේරු කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ රුසියාවේ එකටරීන්බර්ග් ක්‍රීඩාංගණයේදී ය. තරගයේ පළමු අර්ධය තුළදීම ජය තහවුරු කර ගැනීමට ප්‍රංශය සමත් විය. ඒ, 34 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ එම කණ්ඩායමේ කිලියාන් එම්බපේ රැස් කළ ගෝලය ද සමගිනි. 19 වැනි වියේ පසුවන ඔහු වාර්තා අතරට එක් වූයේ ප්‍රධාන පෙලේ තරගාවලියකදී ප්‍රංශය වෙනුවෙන් ගෝලයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙස ය. ප්‍රංශයේ එල්ල වූ අභියෝගය ජය ගැනීමට පේරු ක්‍රීඩකයින් සමත් වූයේ නැහැ. ඒ, අනුව ව පේරු කණ්ඩායමට කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වූ අතර තරගය අවසන් වූයේ ගෝල 1ට 0ක් ලෙස ප්‍රංශයට ජය හිමිකර දෙමිනි. ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ 6 වැනි අවස්ථාව මෙය වේ. මේ අතර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට පිවිසීමට තම කණ්ඩායම අසමත්වීම පිලිබඳව පේරු ක්‍රිඩා ලෝලීන් කණගාටුව පල කළේය. කෙසේ නමුත් ඔවුන් පවසන්නේ තම ක්‍රීඩකයින් පිළිබඳව අවතක්සේරු නොකරන බව ය. මේ අතර ජයග්‍රාහී ප්‍රංශ කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් සිය ක්‍රීඩකයින්ට සුබ පැතුම් එක් කළේය.