යුරෝපා සංගමයෙන් අමෙරිකාවට තීරුබදු

ජනපති ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තියට එරෙහිව යුරෝපා සංගමයෙන් අමෙරිකාවට තීරුබදු

by Staff writer 22-06-2018 | 9:10 AM
(News 1st) - ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තියට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් අමෙරිකානු භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, යුරෝ බිලියන 2.8ක වටිනාකමින් යුත් අමෙරිකාවෙන් යුරෝපයට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අද සිට තීරුබදු පැනවෙන බව ය. ඒ අනුව මත්පැන් විශේෂ , යතුරු පැදි සහ දොඩම් යුෂ යන අමෙරිකානු නිෂ්පාදන යුරෝපා සංගම් තීරු බද්දට යටත් වනු ඇති. නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගම් සභාපති ජීන් ක්ලෝඩ් ජන්කර් කියා සිටියේ, අමෙරිකාව යුරෝපා සංගමයට බදු පැනවීම සියලු න්‍යායන්ට හා ඉතිහාසයට එරෙහි බව ය. අමෙරිකාවට ආනයනය කෙරෙන වානේ මත 25%ක සහ ඇලුමිනියම් මත 10%ක තීරුබද්දක් හඳුන්වා දෙන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කළේ ය. ඒ අනුව මේ මස පළමු වන දා සිට යුරෝපා සංගමය කැනඩාව, මෙක්සිකෝව සහ අනෙකුත් අමෙරිකානු හිතවාදී රටවලට එම තීරුබදු ක්‍රියාත්මක වේ. එය මීට පෙර විවේචනය කළ යුරෝපා සංගම් සභාපති ජීන් ක්ලෝඩ් ජන්කර් ඊයේ ප්‍රකාශ කළේ, එම බදු පැනවීමට එරෙහිව තම සංගමය පැහැදිලිව ප්‍රතිචාර දක්වන බව ය.