SriLankan Airlines පිළිබඳව තවත් හෙළිදරව්වක්

SriLankan Airlines පිළිබඳව ජනපති කොමිසමේදී තවත් හෙළිදරව්වක්

by Staff writer 21-06-2018 | 10:46 PM
ශ්‍රීලංකන් ගුවන් සමාගම , ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම අදත් පැවැත්විණ. ගුවන්යානා තුළ තීරු බදු නිදහස් වැඩසටහනට ඇතුළුවීමට ලංසු ඉදිරිපත් කරන තෙක් ශ්රී ලංකන් එයාර්ලයින්ස් සමාගම ෆීනික්ස් රයිසින් වෙන්චර්ස් පිළිබඳ කිසිඳු දැනුමක් නොතිබිණ බව අද ජනාධිපති කොමිසමේදී අනාවරණ විය. මේ බව අනාවරණය වූයේ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මාලන් පෙරේරා මහතා අද කොමිසමේදී ලබාදුන් සාක්ෂියෙනි. මෙහිදී අනාවරණ වූ තවත් කරුණක් වන්නේ , ගුවන්යානා තුළ තීරු බදු නිදහස් වැඩසටහන සම්පූර්ණයෙන්ම ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා සමාගමට ලබාදී ඇත්තේ නිසි ටෙන්ඩර් ක්‍රමයකින් නොවන බවයි . කොන්ත්‍රාත්තුව සඳහා ෆීනික්ස් සමාගම වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ එහි අධ්‍යක්ෂ වන රාජ චන්දිරම් සහ ප්‍රධාන විධායක නිලධාරී රුමේෂ් ඩිලාන් වීරසිංහ යන අයයි . රුමේෂ් ඩිලාන් වීරසිංහ යන නම , පිටරට බැංකුවල මුදල් තැන්පත් කරන පුද්ගලයන්ගේ නාම ලැයිස්තුවේ ඇති බව මීට පෙර ජාත්‍යන්තර විමර්ශන මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් ප්‍රසිද්ධියට පත් කළේ ය.