කඳවුරුවල සිටින සාමාජිකයන්ට ට්‍රම්ප්ගෙන් පණිවුඩයක්

සංක්‍රමණික කඳවුරුවල සිටින සාමාජිකයන්ට ට්‍රම්ප්ගෙන් පණිවුඩයක්

by Staff writer 21-06-2018 | 6:58 AM

සංක්‍රමණික කඳවුරුවල රඳවා සිටින පවුල්වල සාමාජිකයන්ට එක් ව දිවිගෙවීමට ඉඩ ලබා දෙන විධායක නියෝගයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවේ ය.

ඒ, අමෙරිකානු - මෙක්සිකානු දේශසීමාව ඔස්සේ අමෙරිකාවට ඇතුලු වන අනවසර සංක්‍රමණික පවුල්වල දෙමව්පියන්ගෙන් දරුවන් වෙන් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධය එල්ලවීම හමුවේයි. නියෝගයට අත්සන් තබමින් මාධ්‍ය ඇමතූ අමෙරිකානු ජනධිපතිවරයා සිය බිරිඳ මෙලානියා සහ දියණිය ඉවන්කා ට්‍රම්ප්ගේ ඉල්ලීම් ද මෙම තීරණයට හේතු වූ බව කියා සිටියේ ය. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප්ගේ මෙම විධායක නියෝගය ක්‍රියාත්මක වන්නේ කෙදින සිටදැයි යන්න මෙතෙක් හෙළිකර නොමැත. මේ අතර අනවසර සංක්‍රමණිකයන්ට උපකාර කිරීම අපරාධයක් බව ප්‍රකාශයට පත්කරමින් නව නීති සම්මත කර ගැනීමට හංගේරියානු පාර්ලිමේන්තුව පියවර ගනු ලැබිණි. ඒ යටතේ අනවසර සංක්‍රමණිකයන්ට එරට දේශපාලන රැකවරණ ලබා ගැනීමට උපකාර කරන ඕනෑම අයෙකුට වසරක සිරදඬුවම් නියම කෙරෙනු ඇති. අනවසර සංක්‍රමණිකයන් සමග සේවය කරන රාජ්‍ය නොවන සංවිධානවලට ද ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමට සිදුවන අතර ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය මේ ඔස්සේ දැඩිව සීමා කෙරේ. මෙම නීතිය ලොව මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් විය.