නවසීලන්ත වාර්තාව පරදා එංගලන්ත පිලෙන් වාර්තාවක්

නවසීලන්ත වාර්තාව පරදා එංගලන්ත පිලෙන් වාර්තාවක්

by Staff writer 21-06-2018 | 7:49 AM

COLOMBO (News 1st) - කාන්තා පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයක ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව පිහිටුවීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.

එහි විශේෂත්වය වන්නේ පැය කිහිපයක් තුළ එම වාර්තාව අවස්ථා දෙකකදී බිඳ වැටීමයි. එංගලන්ත, නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් සහභාගී වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ටවුන්ටන්හිදී පැවැත් වේ. ඊයේ දිනයේදී එහි තරග දෙකක් පැවැති අතර පළමු තරගය පැවැත්වූයේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන් එක් කඩුල්ලකට ලකුණු 216 ක් රැස් කළේ කාන්තා පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයක ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව තමන් සතුකර ගනිමිනි. නවසීලන්ත ක්‍රීඩිකාවන් ලකුණු 66 කින් එම තරගය ජය ගත්හ. මේ අතර ඊට පැය කිහිපයකට පසුව නවසීලන්ත ක්‍රීඩිකාවන් පිහිටු වූ කාන්තා පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයක ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව බිඳ දැමීමට එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් විණි. ඒ, එම තුන්කොන් කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ දිනයේ පැවැති දෙවැනි තරගයේදීයි. දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව දිවා රාත්‍රී තරගයක් ලෙස ක්‍රියාත්මක වූ එහි පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 3කට ලකුණු 250ක් රැස් කළේ ය. එම තරගය එංගලන්ත ක්‍රීඩිකාවන් ජය ගත්තේ ලකුණු 121කිනි.