නවසීලන්ත අගමැතිනිය මව් පදවියට

අගමැති පදවියේ සිටිමින් මව් පදවියට පත් ලොව දෙවන නායිකාව...

by Sagarika Chathumali 21-06-2018 | 5:18 PM

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් බිළිඳියකට උපත දෙමින් සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සිදු කර තිබේ.

ඒ අනුව ජසින්ඩා නූතන ඉතිහාසයේ ධුරයේ රැඳී සිටියදී මව් පදවියට පත් දෙවන රාජ්‍ය නායිකාව ලෙස ඉතිහාසයට එක්වනු ඇති. දරු ප්‍රසූතිය සඳහා නියම කර තිබූ දින ඉක්මවා සිව් දිනකට පසු ඇය ඕක්ලන්ඩ්හි රෝහලකදී ඇය එලෙස සිය දරු ප්‍රසූතිය සිදු කර තිබේ. 37 හැවිරිදි ජසින්ඩාගේ මාතෘ නිවාඩු සමය සති 6ක් පමණක් වන අතර එම කාලය තුළදී නියෝජ්‍ය  අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් නවසීලන්තයේ වැඩබලන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරිය නිවාඩු සමය තුළ සුවිශේෂි කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම මෙන්ම කැබිනට් පත්‍රිකා කියවීම ආදිය සිදු කරනු ඇති. අග්‍රාමාත්‍යවරිය තමා මව් පදවිය ලැබූ බව පළමු වරට සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කරමින් රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුතිය පළ කළා ය. කලාපීය නායකයින් ඇයට සුබපතා පණිවුඩ යොමු කර ඇති අතර නවසීලන්ත හිටපු අග්‍රාමාත්‍ය හෙලන් ක්ලාක් ද ඒ අතර වේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් ජසින්ඩා තමා සහ තම සහකයා දරුවෙකු අපේක්ෂාවෙන් පසුවන බව නිවේදනය කළේ, මෙම වසරේ ජනවාරි මාසයේදීයි. 1990දී පකිස්ථානය අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝ දියණියක ප්‍රසූත කරමින් ධුරයේ රැඳී සිටියදී මව් පදවියට පත් පළමු නායිකාව ලෙස ඉතිහාසයට එක් වූවා ය. බෙනාසීර් බූතෝගේ උපන් දිනය අදට යෙදී ඇති අතර එදිනම ජසින්ඩාගේ දරු උපත සිදුවීමත් අග්‍රාමාත්‍යවරියන් දෙදෙනා ම බිළිඳියන්ට උපත දීමත් විශේෂිත ය. මේ අතර ජසින්ඩා අර්ඩන් 1856 වසරේ සිට මේ දක්වා නවසීලන්ත නායකත්වයට පත් ලාබාල ම අග්‍රාමාත්‍යවරිය ද වේ.