ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා සමාගම කෙරෙහි අද ජනපති විමර්ශන කොමිසමේ අවධානය

by Staff writer 20-06-2018 | 9:22 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා තුළ සිදු කෙරෙන තීරු බදු රහිත වෙළෙඳාමට හවුල්කාර පාර්ශවයක් වන ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා පුද්ගලික සමාගම කෙරෙහි අද ජනාධිපති විමර්ශන කොමිසමේදී අවධානය යොමු විය.

අද දිනයේ සාක්ෂි ලබාදුනනේ ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා පුද්ගලික සමාගමේ හිටපු පුහුණු අධ්‍යක්ෂ මාලන් පෙරේරා මහතායි. 2012 වසරේදී තමන් එම සමාගමට බැඳුනේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කාර්ය මණ්ඩලයට යානා තුළදී තීරු බදු රහිත භාණ්ඩ අළෙවි කිරීම සම්බන්ධයෙන් පුහුණුවීම් හා මගපෙන්වීම් ලබාදීමට බව ඔහු කොමිසමේදී සඳහන් කළේ ය. එම කර්තව්‍ය සිදු කරන අවස්ථාවේදී තමන් විටින් විට කටුනායක ගුවන්තොටුපොළට යන බවත් ඉන් එක් අවස්ථාවකදී ශ්‍රීලංකන් ගුවන් සමාගම හා කැනඩාවේ සංස්ථාපිත ෆිනික්ස් ඩියුටි ෆ්‍රි සර්විසස් සමාගම අතර ගිවිසුමක් ඇති බවත් කොමිසමේදී අනාවරණ විය. අදාළ ගිවිසුමේ දැක්වෙන අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා පුද්ගලික සමාගම තීරු බදු රහිත භාණ්ඩ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නමට ගෙන්වා කටුනායක පිහිටි ගබඩාවල තැබිය යුතු වේ. සාක්ෂිකරුට අනුව ගෙන්වන සියලු භාණ්ඩ ආයෝජන මණ්ඩලය විසින් සහන ලබාදී ඇති තීරු බදු රහිත භාණ්ඩයි. කෙසේ වෙතත් ගිවිසුමට අනුව භාණ්ඩ විකිණීම හෝ නැවත ලබාදීමක් සිදුකළ යුතුයි. භාණ්ඩ ගබඩා කිරීම කොන්ත්‍රාත්තුවේ නෛතික භාවයට පටහැනි වන අතර සමාගමට සිදුකළ හැක්කේ භාණ්ඩ ගෙන්වා විකිණීම පමණක් බව සාක්ෂිකරුගේ ප්‍රකාශවලින් පෙනී යනු ඇත. ගුවන් යානා තුළදී සිදුකරන තීරුබදු රහිත විකිණීම් සම්බන්ධව තමන් සතුව වාර්තා ඇති බවත් සමාගමේ ආදායම් වියදම් පිළිබඳව ප්‍රශ්නගත තත්ත්වයක් ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. ඊට හේතුව ලෙස සඳහන් කළේ, තමන් ලබාගන්නා වාර්තාවලට අනුව සමාගම වර්ෂයකදී අමෙරිකානු ඩොලර් මිලියන 5.54ක විකුණුම් සිදුකළ ද සමාගමේ වියදම් හා ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගෙවිය යුතු 44% ක කොමිස් මුදල සැලකිල්ලට ගත්විට සමාගම ඩොලර් මිලියන 1.2 ක පාඩුවක් ලබන බවයි. මූල්‍ය වාර්තා රහසිගත ලෙස එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රාජු චන්දිරම් මහතා හා මූල්‍ය කළමනාකරු මොහොමඩ් හනාස් විසින් තබා ගත් බව ඔහු සාක්ෂිදෙමින් කියා සිටියේ ය. 2011 වසරේදී ෆීනික්ස් රයිසින් වෙන්චර්ස් පුද්ගලික සමාගම සංස්ථාපනය කිරීමේදී එහි ආරම්භක අධ්‍යක්ෂක හා ආරම්භක කොටස් හිමිකරු ලෙස අයැදුම්පත්‍රයේ සඳහන් වී ඇත්තේ, රාජු චන්දිරම් යන නමයි. කොමිසමේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස සමාගම් රෙජිස්ටාර් නියෝජිතයා ප්‍රකාශ කළේ, 2007 සමාගම් පනතට අනුව තනි පුද්ගල කොටස්කරුවන් සිටින සමාගමක කොටස්කරුවෙකු විය හැක්කේ භාණ්ඩාගාර ලේකම්වරයා බවයි. මෙහි සඳහන් වූ රාජු චන්දිරම් යන පුද්ගලයා, 2007 වසරේ දී ශ්‍රීලංකන් කේටරින් හි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අතර 2008 වසර දක්වා ශ්‍රීලංකන් ගුවන් සමාගමේදී අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ.