රාමසාන් උත්සව සමය වෙනුවෙන් එකඟ වූ සටන් විරාමට තිත තබමින් තලේබාන් කැරළිකරුවන් ඇෆ්ගනිස්ථාන ආරක්ෂ අංශ ඉලක්ක කර පළමු ප්‍රහාරය එල්ල කර තිබේ.
හමුදා මුර පොළක් ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සෙබළුන් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවයි.
පසුගිය ඉරිදා දිනයේ කැරළිකරුවන් දැනුම් දී සිටියේ තෙදින සටන් විරාමය තවත් දික් නොවනු ඇති බවයි.
සටන් විරාමය ක්‍රියාත්මක වූ දින කිහිපය තුළ ඇෆ්ගනිස්ථානය තුළ වෙනදා දැකගත නොහැකි දේ සිදුවීම විශේෂත්වයකි.
සෙබළුන් සහ තලේබාන් කැරලිකරුවන් එකිනෙකා වැළඳ ගනිමින් සුබපතා ගන්නා සිදුවීම් ඉන් ප්‍රමුඛ විය.

මේ අතර ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇෆ්ගන් රජය 10ක් දක්වා ඒකපාර්ශවීය සටන් විරාමය ක්‍රියාත්මක කරන බවයි.
2001 වසරේදී අමෙරිකාව විසින් මෙහෙය වන ලද ආක්‍රමණයකින් ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව පෙරළා දැමීමෙන් පසු තලේබාන් සංවිධානය එකඟවූ පළමු සටන් විරාම ගිවිසුම මෙය විය.
පසුගිය පෙබරවාරි මාසයේ ඝානි තලේබාන් කැරළිකරුවන්ට කොන්දේසි විරහිතව සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස අරාධනා කළ අතර නීතියේ ආධිපත්‍යයට ගරු කළ හොත් තලේබාන්වරුන් එරට නීත්‍යනුකූල දේශපාලන කණ්ඩායමක් ලෙස පිළිගන්නා බව ද පැවසී ය.
කෙසේ වෙතත් මේ දක්වා කැරළිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ජීවිත අහිමි වූ ඇෆ්ගන් වැසියන් දස දහස් ගණනකි.