තැපැල් සේවකයින් අද සිට අඛණ්ඩ උපවාසයක

වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අද සිට අඛණ්ඩ උපවාසයක

by Staff writer 20-06-2018 | 6:41 AM
COLOMBO (News 1st) - වැඩ වර්ජනයක නිරත තැපැල් වෘත්තීය සමිති අද සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, ගැටලු සඳහා මෙතෙක් බලධාරීන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන බව ය. තම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට පරිභාහිර වෘත්තීය සමිති නායකයින්ගේ සහය ලබා ගැනීමට අවධානය යොමුව ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවා සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ. ලිපි බෙදීම හැරුණු විට බිල්පත් ගෙවීම්, විශ්‍රාම වැටුප් ගෙවීම්, ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම් මෙන් ම මහජන ආධාර මුදල් ගෙවන්නේ ද තැපැල් කාර්යාල හරහා ය. මෙම සේවා සිදු නොවීමෙන් පාර්ශව රැසක් දැඩි පීඩාවට පත්ව සිටින අතර විභාග සඳහා ප්‍රවේශ පත්‍ර නොලැබීම හේතුවෙන් ද ඇතැම් පිරිස් පීඩාවට පත්ව සිටින බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ.