රන්මිණිතැන්නේ ප්‍රදේශවාසීහු වීදි බසිති

පස් රැගෙන ආ ටිපර් රථයක් STF භාරයට ගැනීමත් සමග රන්මිණිතැන්නේ ප්‍රදේශවාසීහු වීදි බසිති

by Staff writer 20-06-2018 | 11:25 AM
COLOMBO (News 1st) - කතරගම - කොළඹ ප්‍රධාන මාර්ගය තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීහු අද උදෑසන සිට විරෝධතාවක නිරත වෙති. ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වන්නේ, තිස්සමහාරාම ජූල්පල්ලම ප්‍රදේශයේ වෙල් යායට ගමන් කිරීම සඳහා ඇති මාර්ගය සැකසීමට පස් රැගෙන ආ ටිපර් රථය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගැනීම හේතුවෙනි. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, පස් ප්‍රවාහනය වෙනුවෙන් බලපත්‍රයක් ද ඔවුන් සතුව තිබූ බව ය. මෙම මාර්ගය සැකසීම සඳහා බලධාරීන්ට කිහිප වරක් ම දැනුම් දුන්න ද නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් ප්‍රදේශවාසීන් මුදල් එකතු කර මාර්ගය සැකසීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් විශේෂ බලකා නිලධාරීන් පස් අඩංගු ටිපර් රථය ඔවුන් භාරයට ගෙන ඇත්තේ, බලපත්‍රයේ සඳහන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රැගෙන යාම හේතුවෙන් බව අප වාර්තාකරු පැවසුවේ ය.