එ.ජා. මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් වෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් වෙයි

by Staff writer 20-06-2018 | 7:04 AM
(News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් වී තිබේ. මානව අයිතිවාසිකම් විහිලුවකට ගෙන ඇති බවත් කුහක සහ සැමට අපක්ෂපාතී ලෙස නොසලකන බවත් එක්සත් ජාතීන්ගේ අමෙරිකානු නියෝජිත නිකී හේලි ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඇය පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලය ඊශ්‍රායල විරෝධීත්වයට පක්ෂපාතී බවට චෝදනා කළ අතර එහි සාමාජිකත්වයේ රැඳී සිටීම පිළිබඳව නැවත වරක් සිතා බලන බවට ප්‍රකාශ කළා ය. 2006 වර්ෂයේ පිහිට වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත වාර්තා පවතින රටවලට එහි සාමාජිකත්වය ලබා දීම පිළිබඳව දැඩි විවේචනයට ලක්ව ඇති බව විදෙස් වාර්තාහි සඳහන් ය. මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, අමෙරිකාව තවදුරටත් කවුන්සිල සාමාජිකත්වයේ රැඳී සිටීම කෙරෙහි ඔහුගේ වැඩි කැමැත්තක් ඇති බව ය. අමෙරිකාවේ මෙම තීරණය බලාපොරොත්තු සුන් කරන සුළු බව මීට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් පවසා ඇති බව සඳහන් ය.