ශ්‍රී ලංකා-කොදෙව් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා-කොදෙව් දෙවන තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

by Staff writer 19-06-2018 | 9:17 AM
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තරගය කොදෙව්හි සාන්ත ලූසියා දිවයිනේ ඩැරන් සමී ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 79 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 253 ක් රැස් කළේ ය. ඊට පිළිතුරු ලෙස කොදෙව් ක්‍රීඩකයින් සිය පළමු ඉණිම සදහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 300කි. ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 334 කි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉණිම සදහා සියලු දෙනා දැවී ලකුණු 342 ක් රැස් කළේ ය. කුසල් මෙන්ඩිස් සිය 6 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 87 ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල සිය ටෙස්ට් දිවියේ 9 වන අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 62 කි. පන්දු යැවීමේදී ශෙනොන් ග්‍රේබ්රියල් ලකුණු 62 ට කඩුලු 8යි. මෙය ඔහුගේ ටෙස්ට් ඉණිමක හොදම පන්දු යැවීම ලෙස වාර්තා අතරට එක්විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඒ අනුව ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 296 කි. එම ඉලක්කය හඹා ගිය කොදෙව් ක්‍රීඩකයින් පන්දුවාර 60 යි පන්දු 3 ක් අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 147 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. වර්ෂාව හේතුවෙන් නැවත තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් විනිසුරුවරුන් තීරණය කළේ, තරගය ජය පැරදුමෙන් තොරව නිමා කිරීමටයි. ශායි හෝප් ලකුණු 39 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැදි සිටි ආරම්භක පිතිකරු කාලෝස් බ්‍රත්වෙයිට් ලකුණු 59 යි. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් හා කසුන් රාජිත කඩුළු 2 බැගින් දවා ගත්තේ ය. දෙරට අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 23 වන වන දා බාර්බඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි.