රුපියල තව ත් බාල්දු වෙයි

රුපියල තවත් බාල්දු වෙයි: ඩොලරය රුපියල් 161 ක ඉක්මවයි

by Staff writer 19-06-2018 | 7:42 PM

COLOMBO (News 1st) - මහ බැංකුව අද ප්‍රකාශ කළ විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලර් එකක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 161.17 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දිගින් දිගටම ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දුවීම නවතින්නේ කොතනින් ද? මේ තත්ත්වයට සැබෑ හේතු මොනවා ද? මෙම වසරේ ගෙවුණු මාස 06 තුළ පමණක් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 5.44 % කින් අවප්‍රමාණය වී තිබේ. 2010 වසරේ රුපියල් 110.95 ක්ව පැවති ඩොලරය 2017 වසර ආරම්භවන විට එය රුපියල් 152.85 ක් දක්වා ඉහළ ගියේ ය. රටක විනිමය අනුපාත තීරණය වන ප්‍රධාන සාධකයන් වන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළයාම හෙවත් උද්ධමනය ආනයන අපනයන අතර පරතරය සහ පොළි අනුපාතයි. දින සියයේ රජය යටතේ එවක මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කෘතිමව රුපියලේ අගය පවත්වාගෙන යෑම සඳහා මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නිසා 2015 න් පසුව ආර්ථිකය ප්‍රබල ලෙස කඩාවැටුණු බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙති. 2015 මූල් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 4000 ක්. 2015 පෙබරවාරි 27 වන දා සිදු වූ බැඳුම්කර ගනුදෙනුවේදී රුපියල් බිලියන 10 ක බැඳුම්කර අවුරුදු 30 ක කාලයක් සඳහා නිකුත් කළේ ය. මේ දූෂිත ගනුදෙනුව හේතුවෙන් රටේ පොළි අනුපාතය 3.15 % කින් ඉහළ ගිය බව මේ වන විට රටම දන්නා කරුණකි. ඒ අනුව පළමු බැඳුම්කර වංචාව නිසා රටේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 126 කින් වැඩිවී ඇතැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනු ඇත. 2015 වසරේදී හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකළ මුදල් මුද්‍රණය කිරීම වර්තමානයේ රුපියලේ අගය මෙලෙස අවප්‍රමාණයවීමට හේතු වූ බව පැහැදිලිය. ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේදී පොළි අනුපාත ඉහළ දැමීම නිසා රුපියලේ අගය බාල්දු වූ බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙති. රටේ දේශපාලඥයින්ට මෙම තත්ත්වයන් කළමනාකරණය කළ නොහැකි නම් එසේ කළ හැකි පුද්ගලයින්ට මෙම වගකීම් භාරදිය යුතු නොවේ ද ? රටේ මිලියන 22 ක ජනතාවගේ ජීවිත සහ අනාගතය පරදුවට තබා තමන්ගේ පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සිදු කරන මෝඩ අමනෝණ්‍ය ක්‍රියාවල් තවදුරටත් මෙසේ ඉවසිය හැකි ද ? මේ සියල්ලට වගකිව යුතු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ මේ වන විට හොයා ගැනීමටත් නොහැකියි. ඔහු පත් කළ හා ආරක්ෂා කළ අගමැතිවරයා නිහඬයි.