රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියැදුරු බලපත්‍රයක්

රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියැදුරු බලපත්‍රයක්

by Staff writer 19-06-2018 | 4:51 PM

COLOMBO (News 1st) - රමිත් රඹුක්වැල්ල මහතාට තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නාරාහේන්පිට පොලීසියට නියෝග කර තිබේ.

බීමත්ම රිය පදවා යතුරු පැදියක් අනතුරට ලක් කිරීම සරසවි සිසුන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ ඔහුට විරුද්ධව නඩුවක් විභාග වනු ඇත. එම නඩුව අද කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, සැකකරුගේ රියැදුරු බලපත්‍රය අධිකරණය විසින් මාස තුනකට අධික කාලයක් තිස්සේ අත්හිටුවා තිබීම මගින් ඔහුගේ කටයුතුවලට දැඩි බාධාවක් වී ඇති බවයි. සිය සේවාදායකයා බීමත්ව රිය පැදවූ බවට අධිකරණයට ඉදිරිපත්කර ඇති වාර්තා අනුව සනාථ නොවන බැවින් එම චෝදනාවෙන් ඔහු මුදාහරින ලෙස ද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. පසුගිය මාර්තු 9 වන දා සිදු වූ එම රිය අනතුරින් තුවාල ලැබූ සරසවි සිසුන් දෙදෙනා අද අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී පැවසුවේ සැකකරුගෙන් වන්දි මුදලක් අපේක්ෂා නොකරන බවයි. ඒ අනුව එම සිසුන් දෙදෙනාව අදාල නඩු කටයුත්තෙන් මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව ලබන 10 වන දා යළි කැඳවීමට ද නියෝග කළේ ය.