මාතර - කොළඹ පෞ. බස් වර්ජනයේ

මාතර - කොළඹ පෞ. බස් වර්ජනයේ

by Sagarika Chathumali 19-06-2018 | 11:58 AM
මාතර - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ. මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති අරුණ හල්පගේ මහතා පැවසුවේ, අම්බලන්ගොඩ සිට ධාවනය කෙරෙන කෙටි දුර ගමන් සේවා බස් රථ මගින් එල්ල වන බලපෑම්වලට විරෝධය පළ කරමින් තම සාමාජිකයින් ධාවනයෙන් ඉවත්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පොලීසියට පැමිණිලි ඉදිරිපත් කළ ද මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව ඔහු සඳහන් කළේ ය. මාතර - කොළඹ බස් රථ සේවකයින්ට බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම්, හෙට මාතර සිට අධිවේගි මාර්ගයේ ධාවනය වන බස් රථ සේවකයින් ද ධාවනයෙන් ඉවත් වන බව අරුණ හල්පගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී, රත්ගම පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ, මාතර - කොළඹ පෞද්ගලික බස් රථවලට රත්ගම, අලුත්ගම ඇතුළු ප්‍රදේශවලදී පහරදීම් සිදුවූ බවට පැමිණිලි ලැබි ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ද පසුව පැමිණිලිකාර පාර්ශවය විසින් අදාළ පැමිණිල්ල ඉවත්කර ගැනීම හේතුවෙන් අදාළ විමර්ශන අතරමග නවතා දමා ඇති බව ද ඔහු සඳහන් කළේ ය. නැවත මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන්නේ නම්, නැවත විමර්ශන ආරම්භ කිරීමට සුදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.