පොළොව යට කැනීම් සිදුවෙද්දී මධ්‍යම කඳුකරය ගිලා බසී

පොළොව යට කැනීම් සිදුවෙද්දී මධ්‍යම කඳුකරය ගිලා බසී

by Staff writer 19-06-2018 | 8:34 PM

COLOMBO (News 1st) - උමා ඔය ව්‍යාපෘතියේ කැනීම් කටයුතු හේතුවෙන් ස්වාභාවික ජල උල්පත් හා පාරම්පරික ගොවිතැන් කටයුතු මධ්‍යම කඳුකරයේ අහිමිවී ගිය සාධක බවට මේ වන විට පත් ව අවසන් ය.

ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් වන විට ජනතාවට නිසි ප්‍රතිලාභ හිමිවේවි ද ? උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කැනීම් කටයුතුවලදී සිදු වූ ජල කාන්දුව හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවූයේ බණ්ඩාරවෙල, වැලිමඩ, අලිකොටආර, පුහුල්පොල හා ඒ අවට ගම්මානවලටයි. ගොවි ජනතාව අසීරුතාවකට පත් වූ අයුරු අප අවස්ථා ගණනාවකදී වාර්තා කළෙමු. දැන් ඇතැම් ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු කර ඇතත් ඔවුන් මුහුණ දෙන ගැටලුවල නිමාවක් නොමැත. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදලෙන් රුපියල් මිලියන 800 ක් ව්‍යාපෘතියේ උමං මාර්ග කැනීම් කටයුතු සිදුකරන ඉරාන හා ජර්මානු කොන්ත්‍රාත් සමාගම් වෙත ලබානොදීමට මේ වන විටත් රජය තීරණය කර තිබේ. ව්‍යාපෘතියේ කැනීම් කටයුතුවලදී නිවාසවලට සිදු වූ හානි සඳහා වන්දි ගෙවීමටත්, ජල පෝෂකවලට සිදු වූ හානි නිසා නව ජල ව්‍යාපෘති ඇති කිරීමටත් රජය එම මුදල් වැය කිරීමට අපේක්ෂා කරනු ඇත. උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ වූ විදුලි උත්පාදන කටයුතුවලින් අනතුරු අතිරික්ත ජලය අලි කොට ආර ජලාශයට ඉන් අනතුරුව හඳපානාගල ජලාශය වෙතත් යොමු කෙරෙනු ඇති. ඒ, කිරිඳිඔය හරහායි. හඳපානාගල ජලාශයේ අක්කර අඩි 5000 ක් පැවති ජල ධාරිතාව ව්‍යාපෘතියත් සමග අක්කර අඩි 15,000 ක් දක්වා වැඩි වේ.