දුමින්ද මාධ්‍යට උගන්වන්න එයි

දුමින්ද දිසානායක එළවළු මිල ගණන් වාර්තා කළ යුතු ආකාරය මාධ්‍යට උගන්වන්න එයි

by Staff writer 19-06-2018 | 9:53 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධනාත්වයෙන් අද පෙරවරුවේ ඇමති මණ්ඩලය රැස් විය.

රටේ ජනතාව වර්තමානයේ මුහුණදෙන ගැටලු ගැන එහිදී සාකච්ඡා කළේ දැයි මාධ්‍යවේදීන් රැස්වීම අවසානයේ ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කර තිබේ. මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඇමතිතුමා කොළඹ නගරයේ දිගින් දිගටම උද්ඝෝෂණ තියෙනවා. ඊයේ අද වෙනකොට තැපැත් විශ්වවිද්‍යාල සිසුන් සයිටම් මේවා ගැන කැබිනට් එකේ සාකච්ඡා වෙනවා ද ඇමතිතුමා?
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක,
සාකච්ඡා උනේ නැහැ
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඇමතිතුමා සාකච්ඡා කරන්නේ ‍එතකොට ටෙන්ඩර් විතර ද?
අමාත්‍ය දුමින්ද දිසානායක,
වේලාවක එන්න බලන්න. මේ ගොල්ලන්ට ඕන දේවල් නෙවෙයි ඇමති මණ්ඩලය සාකච්ඡා කරන්නේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඇමතිතුමා මේ වෙනකොට ඩොලරය 160 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා විශේෂයෙන්ම එළවළු මිල ගණන් සෑහෙන්න ඉහළ ගිහිල්ලා තියෙනවා මේවා ගැන සාකච්ඡාවක් වෙන්නේ නැද්ද මේ ජනතාවගේ
අමාත්‍ය දුමින්ද දිසානායක,
එවැනි ප්‍රශ්නයක් ආපු වේලාවට විශේෂයෙන් අපි සාකච්ඡා කරනවා. ඒවාගේ ම සමහර අවස්ථාවලදී විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම් පවා පවත්වලා තියෙනවා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
අද දිනයේ හිටපු අමාත්‍යවරු කවුරුත් දන්නවා ද එළවළු මිල ගණන් කීය ද කියලා බෝංචි කිලෝ එකක් කීයද කැරට් කිලෝ එකක් කීයද කියලා?
අමාත්‍ය දුමින්ද දිසානායක,
එළවළු කියන්නේ මවන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඕගොල්ලන්ට පෙන්නන්ඩ පුළුවන් 500 යි අද 1000 යි කියලා. හැබැයි ඕගොල්ලෝ ඒවාගේම පෙන්නන්ඩ ඕනේ ක්‍රමවේදයත් මෙන්න මෙච්චර හානි වෙලා තියෙනවා වර්ෂාවෙන් මෙච්චර අස්වැන්නක් එන්න තිබුණා කිලෝ 10000 ක්. හැබැයි තියෙන්නේ කිලෝ 1000 යි එතකොට ඉල්ලුම සැපයුම අනුව මිල වැඩි වෙනවා. ඕගොල්ලෝ ඔය ටික පෙන්නන්නේ නෑනේෙ?
දුමින්ද දිසානායක ඇමතිතුමනි රටේ ජනතාව මුහුණ දෙන පොදු ප්‍රශ්න ඇමති මණ්ඩලයේ සාකච්ඡා නොකර වෙන කුමන ස්ථානයක සාකච්ඡා කරන්න ද? රටේ ජනතාවගේ වියදමින් ඔබව නඩත්තු වන නිසා ඔබට ඒ දුක නොදැනෙනවා විය හැකියි. ඔබ ඔය යන එන අධිසුඛෝපභෝගී රථයෙන් බිමට බැස ඔබේ දිස්ත්‍රික්කයේ ඈත ගම්මානවලට ගියොත් ඒ ජනතාවගේ සැබෑ ගැටලු හඳුනාගැනීමට ඔබට හැකිවනු ඇත. ජනතාවගේ ප්‍රශ්න කතා නොකලත් බිලියන ගණනක් වියදම් කර ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට ඔබලාට තිබූ උනන්දුව කාට අමතක වුවත් රටේ ජනතාවට නම් අමතක නැත. අවුරුදු 5 ක් කුලී පදනමට ලබාගකත් මේ ගොඩනැගිල්ලට මුල් අවුරුදු 3 කට රුපියල් මිලියන 21 ක බැගින් මාසිකව ගෙවූ බව ඔබට අමතක ද? අවුරුදු තුනට රුපියල් මිලින 756 ක් ගෙව්වේ ජනතාවගේ මුදලින් නොවේ ද? තුන්වන වසරින් පසුව රුපියල් මිලියන 24.5 ක මාසික කුලියක් ගෙවීමට ගිවිසුම් ගැසීමට අනුමැතිය ලැබුනේ ඔබ ඔය කියන ජනතා ප්‍රශ්න කතා නොකරන සාකච්ඡාවලදී නොවේ ද? අවුරුදු 5 කට කුලිය පමණක් රුපියල් මිලියන 1335 ක් ගෙවා දමන ඔබ වැනි ඇමතිවරුන් රටේ ජනතාවගේ දුක නොහඳුනන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇමතිතුමනි, ඈත රජරට ජනතාවගේ කරමතින් පැමිණ ඒ අහිංසක ජනතාව වෙනුවෙන් පොහොර ටිකවත් වේලාවට ලබාදීමට අසමත් වූ ඔබ වැනි ජනතා නියෝජිතයින් ගැන ජනතාවම තීන්දුවක් ගනු ඇත.