තනතුරු හැරගියා සේ සැලකුවත්, තැපෑල අද ත් වර්ජනයේ

තනතුරු හැරගියා සේ සැලකුවත්, තැපෑල අද ත් වර්ජනයේ

by Sagarika Chathumali 19-06-2018 | 7:30 AM

COLOMBO (News 1st) : තැපැල්පතිවරයා විසින් කුමන තීරණ ගනු ලැබුව ද තම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බවයි. 27,000ක් පමණ වූ තැපැල් සේවක පිරිසක් වර්ජනයට එක්ව සිටින බව ත්  වර්ජනය සම්බන්ධ ඕනෑම ගැටලුවකට මුහුණදීමට සේවකයින් සූදානම් බව ත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

"එතුමා මොන නීතිය ක්‍රියාත්මක කළ ත් අපි වර්ජනය මේ අකාරයෙන් පවත්වා ගෙන යනවා"

                                           - චින්තක බණ්ඩාර - 

බඳවා ගැනීම් පටිපාටි සංශෝධනය, සුදුසුකම් ලැබූ දෙවන පෙළ නිලධාරීන් ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් මෙම වර්ජනය ආරම්භ කළේ, පසුගිය 11 වනදායි. තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසුවේ, ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් විසඳුමකට එළැඹීමට නොහැකි වූ බවයි. මේ අතර සියලු සේවක නිවාඩු අවලංගු කර ඇති හෙයින් අද දින සේවයට වාර්තා නොකරන සියලු තැපැල් සේවකයින් තනතුරු හැර ගියා සේ සලකන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තැපැල්පතිවරයා උපුටා දක්වමින් ඊයේ නිවේදනය කළේ, සියලු ම තැපැල් කාර්යාල විවෘත කර රාජකාරී කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතු බවයි. අවශ්‍යතාව අනුව අදාළ ප්‍රදේශවල පොලීසියේ සහය ලබා ගත හැකි බව ද, තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ ය. සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්,ආදේශක,වැඩ බලන සහ පත්වීම් ස්ථිර නොකරන ලද කාර්ය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ තවදුරටත් පරිපාලනය විසින් වග නොකියන බව ද තැපැල්පතිවරයා සඳහන් කළේ ය. කාර්ය භාර තැපැල් ස්ථානාධිපති හා අංශ භාර ප්‍රධානීන් තම වගකීම හා කාර්යභාරය තැපැල් ස්ථානාධිපති අත්පොත, තැපැල් රෙගුලාසි සහ රාජ්‍ය සේවකයින්ට අදාළ විධිවිධාන අනුව කටුයුතු කළ යුතු බව ද අවධාරණය කරන බව තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. මේ අතර වර්ජනය හේතුවෙන් මේ වනවිට දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල ලක්ෂ 15 කට අධික ලිපි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති අතර විදේශ රටවලින් පැමිණෙන ලිපි මලු ද දහසක් පමණ ගුවන්තොටුපොළ තැපැල් අංශයෙහි ගොඩගැසී ඇතැයි, වාර්තා වේ. වර්ජනයේ නිරත තැපැල් සේවකයින් ඊයේ විරෝධතා පා ගමනක නිරත වූ අතර මධ්‍යම තැපැල් හුවමාරුව අසලින් ආරම්භ වූ පා ගමනට තැපැල් සේවකයෝ 2000ක් පමණ එක්ව සිටියහ. පා ගමන හේතුවෙන් ඕල්කට් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත ඇතුළු මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් හටගත් අතර කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා දැමීමට සිදුවිය. මේ අතර වර්ජනය හේතුවෙන් සියලු විභාගවලට අදාළ ගෙවීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට විභාග අපේක්ෂකයින්ට අවස්ථාව සලසා දී තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා පසුගිය දා සඳහන් කළේ, ක්‍රියාත්මක තැපැල් වර්ජනය හේතුවෙන්, එම පියවර ගත් බවයි. මේ දිනවල පැවැත්වෙන විභාගවල ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු අපේක්ෂකයින්ට විභාග සඳහා පෙනී සිටිමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය. මේ අතර රථ වාහන වැරදිවලට අදාළ දඩ මුදල් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගෙවීමේ අවස්ථාව ලබාදී ඇත. වර්ජනය හේතුවෙන්, තැපැල් දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමිවන අදායම රුපියල් මිලියන 150කි.