ජනපති ට්‍රම්ප් දැඩි තීරණයක

ජනපති ට්‍රම්ප් දැඩි තීරණයක

by Sagarika Chathumali 19-06-2018 | 3:42 PM

COLOMBO (News 1st) - සිය රට සංක්‍රමණික කඳවුරක් බවට පත් වීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.

ඔහු පවසන්නේ, තමා නිරන්තරව සිය පරිපාලනයේ ආගමනික මර්දන ප්‍රතිපත්තිය සමග සිට ගන්නා බවයි. ධවල මන්දිරයේදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, අමෙරිකාව සරණාගතයින්ට පහසුකම් සපයන නවාතැනක් නොවන බවයි. පසුගිය දා ටෙක්සාස් තුළ වැටවල් සහිත රැඳවුම් ස්ථානවල සංක්‍රමණික දරුවන් රඳවා සිටින අයුරු දැක්වෙන ඡායාරූප පළ වීමත් සමග අමෙරිකාව ලෝකයේ දැඩි අවධානයට ලක් වන්නට විය. අප්‍රේල් මැද භාගයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ දේශ සීමාවේ ළමුන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සිය දෙමව්පියන්ගෙන් වෙන් කර ඇත. අමෙරිකානු පාලනයේ නව සංක්‍රමණික ප්‍රතිපත්තියට යටතේ නීතිවිරෝධීව අමෙරිකාවට රැකවරණ පතා පැමිණෙන්නන් දඬුවම් පමුණුවනු ඇති. මෙම ප්‍රතිපත්තිය යටතේ දරුවන්ට අපරාධ චෝදනා එල්ල නොවන අතර ඒ අනුව එම දෙමව්පියන්ගෙන් දරුවන් වෙන් කර ඔවුන් වෙනත් තැන්වල රැඳවීය. ට්‍රම්ප්ගේ මෙම මර්දනීය ප්‍රතිපත්තිය ජනපති ආර්යාව ද දරුණු ලෙස විවේචනයට ලක්කර තිබීම විශේෂත්වයකි. ජනපති බිරිඳ මෙලානියා ට්‍රම්ප් පවසා ඇත්තේ, දරුවන් සිය පවුල්වලින් වෙන් කරනු දැකීම තමා නොඉවසන බවයි. මෙම නව ප්‍රතිපත්තිය අමෙරිකානුවන්ගේ ද දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් මෙන් ම ඩ්‍රිමොක්‍රටික් පක්ෂයේ ඇතැමුන් ද මෙය දැඩි ලෙස දෝෂෙදර්ශනයට ලක් කර ඇත. මේ අතර හිටපු ජනපති බිරිඳ ලෝරා බුෂ් මෙම ප්‍රතිපත්තිය විවේචනය කරමින් පවසා ඇත්තේ, මෙය දුරාචාරයක් බවයි. මෙම කඳවුරු දෙවන ලෝක යුද සමයේ ජපන් - අමෙරිකා කඳවුරු රැඳවුම්භාරයේ සිටියවුන් සිහිගන්වන බව ද ඇය පවසන්නී ය. මේ අතර හිලරි ක්ලින්ටන් ද ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාදාමය දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් ප්‍රධානී අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රතිපත්තිය දැඩිව හෙළා දැක තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ පැවසුවේ, යුරෝපයට සහ ලොව අනෙක් රටවලට අත්ව ඇති ඉරණම අමෙරිකාවට ද අත්වීමට ඉඩ දිය නොහැකි බවයි. මේ අතර මීට පෙර ට්‍රම්ප් පැවසුවේ, මිලියන ගණනක් වූ සංක්‍රමණකයින්ට සිය රටවලට ඇතුළු වීමට අවසර දීම තුළින් යුරෝපීය රටවල් විශාල වැරැද්දක් සිදුකර ගත් බවයි. මෙහිදී ට්‍රම්ප් වි‍ශේෂයෙන් ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් දැඩි ලෙස විවේචනය කරමින් පවසා ඇත්තේ, මේ හේතුවෙන් එරට ජනතාව ජර්මන් පාලකයින්ට එරෙහි වෙමින් සිටින බවයි. මේ අතර යුරෝපයේ වෙනත් රටවල රැකවරණය පතා සිටින සංක්‍රමණිකයින් ජර්මනියට ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මර්කල් එරට ස්වදේශීය අමාත්‍යවරයා සමග ආරවුලක පැටලී සිටින්නී ය.