by Staff writer 19-06-2018 | 11:20 PM
COLOMBO (News 1st) - ශ්රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමට වැරදිකරු වීම හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පනවා තිබේ.
මේ අතර ඔවුන් තීරණය කර ඇත්තේ, දෙවන තරගයේ පූර්ණ තරග ගාස්තුව ද ඔහුට දඩ වශයෙන් නියම කිරීමට ය.
ශ්රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්රිකට් තරගය අතරතුර ශ්රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ 2.2.9. වගන්තිය කඩ කරමින් පන්දුවේ හැඩය වෙනස් කළ බවට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල විය.
ඒ අනුව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිවේදනය කළේ, තරග විනිසුරු ජවගල් ශ්රීනාත්ගේ ප්රධානත්වයෙන් එම ටෙස්ට් තරගයෙන් අනතුරුව මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කරන බව ය.
කොදෙව් ශ්රී ලංකා ටෙස්ට් තරගයේ තරග විනිසුරුවන් ලෙස කටයුතු කරන අලීම් ඩාර්, ඉයන් ගෝල්ඩ් හා තුන්වන විනිසුරු රිචඩ් කෙටල්බොරොව් චන්දිමාල් මෙලෙස පන්දුවේ හැඩය වෙනස් කළ බවට චෝදනා එල්ල කළහ.
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේ, තරගයට යොදා ගත් පන්දුවට ඉකුත් සිකුරාදා චන්දිමාල් විසින් සලායිවා නමැති කිසියම් රස කැවිලි වර්ගයක් සිය කලිසමේ වම් සාක්කුවෙන් ගෙන එය ආහාරයට ගත් බවත්, ඉන් අනතුරුව ඔහු පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සහ ගන්නා අයුරු අදාළ දර්ශන මගින් පෙන්නුම් කරන බව ය.
ශ්රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සහ කළමනාකරු අසංක ගුරුසිංහ නීතිඥවරයෙකු නොමැතිව අදාළ විමර්ශනයට ඊයේ දිනයේදී සහභාගී වූ අතර එහිදී චන්දිමාල්ට මෙම දඬුවම් නියම කර තිබේ.
ඒ අනුව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිවේදනය කළේ, චන්දිමාල්ට කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ පූර්ණ තරග ගාස්තුව දඩ මුදලක් හා තරග තහනම් ලකුණු 2 ක් නියම කරන බව ය.
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ නීති හා රෙගුලාසි අනුව තරග තහනම් ලකුණු 2 ක් එක් ටෙස්ට් තරග තහනමකට , එක්දින තරග දෙකක තහනමකට හෝ පන්දුවාර 20 යි 20 තරග දෙකක තහනමකට සමාන වේ.
ඒ අනුව එම ආකෘති තුන අතුරින් පළමුවෙන්ම චන්දිමාල් ටෙස්ට් තරගයකට ක්රීඩා කිරීම හේතුවෙන් කොදෙව් තරගාවලියේ තුන්වන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය විසින් චන්දිමාල්ට තහනම් කර තිබේ.
මේ අතර අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතියේ 2.2 1 වගන්තියේ තුන්වන කාණ්ඩයේ වැරැද්දක් ලෙස දැක්වෙන ක්රීඩාවේ ජීව ගුණයට හානි කිරීම චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හා ශ්රී ලංකා කණ්ඩයාමේ කළමනාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන්ට ඉදිරියේදී දඬුවම් නියම කරන බව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිවේදනය කරයි.
ඒ, දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වන දිනයට අදාළ තරග ආරම්භය පැය දෙකකට අධික කාලයක් ප්රමාද කිරීම හේතුවෙනි.
ඒ අනුව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා හා කළමනාකරු අසංක ගුරුසිංහ මහතාගේ ක්රියාකලාපයෙන් ක්රිකට් ක්රීඩාවේ ජීව ගුණයට හානි සිදු වී ඇති බව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිවේදනය කරයි.