ක්‍රිකට්වල එදා සහ අද අපි ඉන්න තැන

ක්‍රිකට්වල එදා සහ අද අපි ඉන්න තැන

by Staff writer 19-06-2018 | 10:42 PM

COLOMBO (News 1st) - ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරග බිමේදී දැක් වූ දක්ෂතා සහ ශ්‍රේණිගත කිරීම්වල ඔවුන්ට හිමිව ඇති ස්ථාන පිළිබඳව විමසා බැලීමකි මේ.

පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 26 කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ, තරග 10 ක් පමණි. ටෙස්ට් තරග 12 ක් පරාජය වී ඇති අතර තරග 4 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වී තිබේ. එක්දින තරග 53 කට පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ තරග 14 ක් පමණයි. තරග 34 ක් පරාජය වී ඇති අතර තරග 5 ක් විසඳුමකින් තොරව නිමාවී ඇත. 2016 - 2018 වසර දෙක තුළ පන්දුවාර 20 යි 20 තරග 37කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 11 ක් ජයගෙන ඇති අතර පරාජය වී ඇති තරග ගණන 26 කි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2015 වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය් රැඳී සිටි අතර 2018 වන විට ඔවුන් ස්ථානයක් ඉදිරියට පැමිණ වර්තමාන ශ්‍රේණිගත කිරීම්හි 6 වන ස්ථානයේ පසු වේ. නමුත් 2015 වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වන විට එහි ස්ථාන 3 ක් පසුබැස 8 වන ස්ථානයට පත් වූ අතර වර්තමාන ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානයේ රැඳි සිටිනු ඇත. 2015 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර 20 යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 2016 වසරේදී එහි ස්ථාන 7 ක් පසුබෑමට ලක්ව 8 වන ස්ථානයට පත් වූ අතර වර්තමාන ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි. පන්දුවාර 20 යි 20 ශ්‍රේණිගත කිරීම්හි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ද ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටීම කැපී පෙනෙන කරුණක් ලෙස පෙන්වා දිය හැකිය.