එංගලන්ත ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්

එංගලන්තය එක්දින ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ගණන වාර්තා කරයි

by Chathuranga Rajapaksha 19-06-2018 | 10:25 PM

COLOMBO (News 1st) - එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව අලුත් කිරීමට එංගලන්තය අද සමත් විය.

ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු 6කට ලකුණු 481 ක් රැස් කරමිනි. ලකුණු 444ක් ලබා එංගලන්ත කණ්ඩායම මීට පෙරදීද එක්දින ජාත්‍යන්තර තරගයක ඉනිමකදී රැස් කළ කණ්ඩායම ලෙස පෙරමුණේ රැඳී සිටියේය. තරගය එංගලන්තයේ, නොටිම්හැම්හිදී පැවැත්වේ. ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටෝ අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 159කි. ජේසන් රෝයි ලකුණු 82කට දැවී ගියේය. විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ ඇලෙක්ස් හේල්ස් සහ ජොනී බෙයාර්ස්ටෝ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 151ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ඇලෙක්ස් හේල්ස් ලකුණු 147ක් ලබා ගත්තේය. ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 139ක් ලබා ගැනීමට සමත් විය. නායක ඔයින් මෝගන් ලබා ගත් ලකුණු ගණන 67කි.