ශ්‍රීලංකන් ගුවන්සේවා සභාපතිට ජනපති කොමිසමෙන් නියෝග

by Staff writer 18-06-2018 | 6:30 PM

COLOMBO (News 1st) - සාක්ෂිකරුවන්ට කිසිදු පුද්ගලයෙකුගෙන් හෝ ආයතනික මට්ටමින් බලපෑමක් නොවීමට වගබලා ගන්නා ලෙස ජනාධිපති කොමිසමෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපතිවරයාට නියෝග කර තිබේ.

ශ්‍රීලංකන්, මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා ගුවන් නියමුවන් තිදෙනෙකු අද කැඳවා තිබුණි. ශ්‍රීලංකන්, මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට මහජන පැමිණිලි 44 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ ප්‍රධානත්වයෙන් නීති කණ්ඩායමක් පත්කර ඇති අතර විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා තිබේ. ඔහු සඳහන් කළේ, ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කර වාර්තා ලබා ගැනීමට නියමිත බවයි. ශ්‍රීලංකන්, මිහින් හා ශ්‍රීලංකන් කෙටරින් යන ආයතනවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් පෙබරවාරි 14 වන දා විශේෂ කොමිසමක් පත් කළේ ය. ඒ, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙනි.