රංජන්ට අදාළව චෝදනා ගොනු කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණය

රංජන් අධිකරණයට අපහාස කළ බවට අදාළ චෝදනා ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට දන්වයි

by Staff writer 18-06-2018 | 8:28 PM

COLOMBO (News 1st) - අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ලබන 30 වන දා චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ, ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥයින් බහුතරයක් දූෂිත බවට මාධ්‍ය හමුවේ රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයෙන් අධිකරණයට සිදුවී ඇති අපහාසයට දඬුවම් නොකළ යුත්තේ, මන්දැයි විමසන කෙටුම්පත් ආඥාවක් ද ලබා දෙන ලෙසයි. මාගල්කන්දේ සුදත්ත හිමියන් හා විශාමික යුද හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා විසින් ගොනු කර තිබු පැමිණිල්ලක් සලකා බැලු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් හා මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය. රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා කරුණු දක්වමින් කියා සිටියේ, පෙත්සම්කාර පාර්ශවය විසින් නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි. නීතිපතිවරයා එහිදී පෙත්සමට මැදිහත් වී ඇත්තේ අධිකරණය විසින් කරන ලද නියෝගයක් අනුව බවත්, රංජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ කළ එකි ප්‍රකාශය නිරීක්ෂණය කළ සියලුම ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එමගින් අධිකරණයට යම් අපහාසයක් සිදුවී ඇති බවට පුර්ව නිගමනයක් කිරීමෙන් පසුව ඔහුට එරෙහිවගත යුතු නීතිමය ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට අද දිනයේ නඩුව කැඳවූ බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි ජ්‍යේෂ්ඨ අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. ඒ අනුව වගඋත්තරකාර රංජන් රාමනායක මහතාට එරෙහිව දඬුවම් නියම නොකළ යුත්තේ ඇයිදැයි විමසන කෙටුම්පත් ආඥාව හා චෝදනා පත්‍රය ලබන මස 30 වන දින අධිකරණයට ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේ ය. සමාජ සවිබලගැන්වීමේ නියොජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක,
මගේ දිවුරුම් ප්‍රකාශය දෙනවා රංජන් රාමානයක අර්ජුන් ඇලොෂියස්ගෙන් සතපහක් අරගෙන නැහැ ඔහුව දැකලා නැහැ. ඔහු මට කෝල් කරලා තියෙනවා. පබිලිසිටි දෙන්නමි කියලා. ඔහුගේ පත්තරයෙන් මං ඒවා රේකෝඩි කරලා තියෙනවා. ඕනි වෙලාවක පෙන්වන්නම් මෙන්න දිවුරුම් ප්‍රකාශය එතකොට මං හිතනවා මේක පුර්වාදර්ශයක් කරගෙන ගෝඨභය රාජපක්ෂ මහත්තයා දිවුරුම් ප්‍රකාශයක් දෙයි පොදු දේපොළ භාවිතා කලේ නැහැ කියලා. නාමල් මහත්තයා දෙන්න ඕනි දිවුරුම් ප්‍රකාශයක්. සි. එස්. එන් එකෙන් සල්ලි ගැහුවේ නැහැ කියලා. ඩේසි ආචිචිගෙන් මං බලාපොරොත්තු වෙනවා. දිවුරුම් ප්‍රකාශයක්. යෝෂිත මහත්තයාගෙන්. දයාසිරි මහත්තයා කියපු විදිහට 118ක් ඉන්නවා නේ ඒ 118 දොනාගෙන්. පුළුවන්නම් දිවුරුම් ප්‍රකාශ දෙන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඕනි. අර්ජුන් අලොෂියස්ගෙන් කිසිම මුදලක් ගත්තේ නැහැ කියලා මොකද අපි දන්නවා. ජනවාරි 8 වැනි දා රෑ එයා එතන ඉදලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ වගේම චිචි බේබිට බල්ල දිලා තියෙන්නේ අර්ජුන් අලොෂියස් අපි ඒවා දන්නවා ඉදිරියට කියන්නම්. නාමල් රාජපක්ෂ මහත්තයාගේ හොඳම මිතුරා අර්ජුන් අලොෂියස් මහත්තයා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
දැන් ඔබතුමා චෝදනා කළා නීතිඥයෝ මුදල් ගත්තා කියලා දැන් ඔබතුමාලාගේ කෙනේ තමා වැඩිපුරම ඇලොෂියස්ගෙන් සල්ලි අරන් තියෙන්නේ.
සමාජ සවිබලගැන්වීමේ නියොජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක,
ඉතින් මං කියන දේ ඔප්පු වෙලා නේ. දයාසිරි ජයසේකර සුජිව සේරසිංහ ඒ දෙන්නමා නීතිඥවරු දැන් බලන් මේකෙන් සල්ලි අරගත්ත අයම ඉන්නවා 3 ක් ඒකෙන් 2 ක්ම නීතිඥවරු එතකොට නීතිඥවරුන් බහුතරය කියන ඒක හරිනේ.