බණ්ඩාරවෙල නගරය යටින් ඉදිවන භූගත විදුලි බලාගාරය

බණ්ඩාරවෙල නගරය යටින් ඉදිවන භූගත විදුලි බලාගාරය

by Staff writer 18-06-2018 | 9:57 PM

COLOMBO (News 1st) - උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණක් වන ජල විදුලි උත්පාදනයේ මූලික කටයුතු තව ත් නොබෝ දිනකින් අවසන් කිරීමට හැකි වනු ඇතැයි එහි ඉංජිනේරුවරුන් පවසති.

ඒ අනුව ජාතික විදුලි බල පද්ධතියට එක්වන විදුලි ධාරිතාව මෙගාවොට් 120 කි. ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයේ සිදුව ඇති ජල කාන්දුව හේතුවෙන් කැනීම් කටයුතු ප්‍රමාද වූවත් භූගත ජල විදුලි බලාගාරයේ වැඩකටයුතු මේ වනවිට 80% ක් පමණ අවසන් ය. පුහුල්පොල සිට ජලය රැගෙන එන නලය ඝෘජුවම සම්බන්ධ වන්නේ කරදගොල්ලේ ප්‍රධාන උමං මාර්ගයටයි. එතැන් සිට භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා නල පද්ධතිය සකස් කිරීම ඉතා සංකීර්ණ කටයුත්තකි . යකඩ තහඩු සවිකිරීමේ කටයුත්ත සඳහා සේවකයින් තිදෙනෙකු වරකට යොදවන අතර ඔවුන්ගේ සේවා කාලය පැය කිහිපයකට පමණක් සීමා කර තිබේ. භූගත ජල විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර ඔස්ට්‍රියා සමාගමක් විසින් මේ වන විට සවිකර අවසන් ය. ඉන් උත්පාදනය වන මෙගාවොට් 120 විදුලි බලය රන්දෙණිය ප්‍රදේශයේ ඇති බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ඇති. ව්‍යාපෘතිය යටතේ විදුලි බල උත්පාදනයට යොදාගත් ජලය අනතුරුව වගා කටයුතු සඳහා යොමු කෙරෙන්නේ, කිරිඳි ඔය හරහාය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා ඉන් ඉදිරියට ව්‍යාපෘතියේ කටයුතු සිදුවනු ඇති. එහි සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු හෙට බලාපොරොත්තුවන්න...