තැපැල් සේවකයින් කොළඹට

තැපැල් සේවකයින් කොළඹට: ඉල්ලීම් ඉටුනොවීම නිසා වර්ජනය තවදුරටත්

by Staff writer 18-06-2018 | 7:11 PM

COLOMBO (News 1st) - සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

තැපැල් දෙපාර්තෙමේන්තුව පැවසුවේ, වැඩ වර්ජනය හේතුවෙන් දෛනිකව රුපියල් මිලියන 150 ක ආදායමක් දෙපාර්තමේන්තුවට අහිමි වන බවයි. බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් දැනට මතුව ඇති ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ඡනයට අදට දින 8 ක් වේ . බලධාරීන් ගැටලුව විසඳීම සඳහා මැදිහත්වී නොමැති බව පවසමින් මධ්‍යම තැපැල හුවමාරුව අසළින් අද පෙරවරුවේ තැපැල් සේවකයින් විරෝධතා පාගමනක් ආරම්භ කළහ. ඒ, දිවයින පුරා තැපැල් සේවකයින් 2000 කගේ පමණ සහභාගිත්වයෙනි. පසුව පිරිස ඩී. ආර්. විජේවර්ධන මාවත ගාමිණි වටරවුම මරදාන ටෙක්නිකල් මංසන්ධිය ඔස්සේ කොළඹ කොටුව දක්වා පාගමනින් පැමිණියහ. විරෝධතාව හේතුවෙන් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් අවහිර වූ අතර ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ද අවහිර විණි. පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යෑමට උත්සාහ කළේ ඉන් අනතුරුවයි. පසුව විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබුණි. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, එච්. කේ. කාරියවසම්,
නැවතත් රැවටීමක් කරලා තියෙන්නේ ජනාධිපිති ලේකම්වරයා නෙවෙයි අතිරේක ලේක්ම්වරු 2 ක් හිටියේ. අපි ආපු සංදේශය දීලා ආවා. අපි ඊට වැඩියේ දෙයක් අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ මේ යන ක්‍රමවේදය තුළ. ඒක නිසා අපි දීලා ආවා අපේ සටන අපි දිගටම ගෙන යනවා. ආණ්ඩුව මේ හඬට කන් දීලා මේකට විසඳුම් ලබාදෙන්න ඕනේ. එහෙම ලබාදුන්නේ නැත්නම් මේ අවුරුදු 12 ක් තිස්සේ 26000 ක් තැපැල් සේවකයෝ සහ ඔවුන්ගේ යැපෙන්නන් පෙළන මේ බඳවා ගැනීමේ පටිපාටිය අනිවාර්යෙන්ම සංශෝධනය කරලා ඒ විසඳුම් ලබාදෙන්න ඕනේ.